ලිපි වර්ගීකරණය: භාවනාවට සම්බන්ද වෙනත් දේශනා
කුඩා කල සිට මරණය දක්වා අප සොයන සතුට
තෙරුවන් සරණයි සියලු දෙනාටම!
ඔබ සියලු දෙනා මෙම ලිපිය කියවීමෙන් අපේක්ෂා කරන්නේ තමන්ගේ ආධ්යාත්මික ජීවිතය හා මනුස්ස භවය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමටයි. මනුස්ස භවයක් ලබා ගැනීමට පෙර පෙර භවයන්හිදී ඔබට ආධ්යාත්මික ජීවිතයක් තිබෙන්නට පුළුවන. කෙසේ වෙතත්, මේ ලබාගත් මනුස්ස භවයේ උපන් දින සිටම අපි දිගින් දිගටම යමක් සෙවීමට උත්සාහ කරමු. කුඩා කල සිටම ඔබ සොයන ඒ දේ ලෞකිකද, ලෝකෝත්තරද, නැතහොත් ආධ්යාත්මිකද කියා වචනයෙන් හඳුනා ගැනීමට නොහැකි වුවත්, අප හැමදෙනාම නිරන්තරයෙන්ම හොයන්නේ සැබෑ සතුට ය. අපේ මානසික තෘප්තිය වෙනුවෙන් අප සූදානම් වන්නේ ඒ වෙනුවෙනි.
පාසල් වියේදී සාමාන්ය පෙළ විභාගයෙන් හොඳ ප්රතිඵල ලබාගන්නා විට සතුටක් දකිනවා. ඊට පසු උසස් පෙළ සමත්ව විශ්වවිද්යාලයට තේරෙන විට, විශ්වවිද්යාලයෙන් උපාධිය ලබාගන්නා විට සතුටක් ඇතැයි අප සිතනවා. අධ්යාපනයෙන් පමණක් නොව, බිස්නස් කර මුදල් හම්බකිරීම, ලස්සන වාහන, ලස්සන ගෙවල්, ඉඩකඩම් ලබාගැනීම, ලස්සන බිරිඳක් හෝ සැමියෙක් විවාහ කරගැනීම වැනි ලෞකික වස්තූන් හා පුද්ගලයන් තුළින්ද අප සොයන්නේ සැබෑ සතුට ය. අප මරණය දක්වාම සංසාරික පුරුද්දට සොයන්නේ මෙම තෘප්තියයි.
දෛනික ජීවිතයේ සෑම සුළු කටයුත්තකින්ම අප බලාපොරොත්තු වන්නේද මෙයයි. නාන කාමරයට ගොස් ඇඟ හෝදාගන්නේ දාඩිය නිවාගෙන යම් සතුටක් ලැබීමටයි. රසවත් කෑමක් කෑමෙන්, විනෝද චාරිකාවක් යෑමෙන්, තවත් කෙනෙකු සමඟ වචන කිහිපයක් කතාකිරීමෙන්, අල්ලපු ගෙදරට යාමෙන්, දුරකථන ඇමතුමකින් හෝ සමාජ මාධ්ය හරහා චැට් කිරීමෙන් පවා අප බලාපොරොත්තු වන්නේ සතුටයි. කුඩා කල සෙල්ලම් බඩුවේ සිට, මව්කිරි බොන කාලයේ සිටම අප සතුට සෙවීමට උත්සාහ කරයි.

මුදල් සෙවීම, වෙහෙසීම සහ නොපෙනෙන බලවේගයන්හි පිහිට පැතීම
මේ සතුට ලබාගැනීම සඳහා වර්තමාන ලෝකයේ මිනිසුන් මුදල් සෙවීමට විශාල ලෙස වෙහෙසෙනවා. රක්ෂාවල් කරමින්, කැපකිරීම් කරමින් මහන්සි වී මුදල් උපයාගෙන, ඒ මුදල් වියදම් කර සතුට ලබා ගැනීමට උත්සාහ කරනවා. නමුත් එම සතුට ඉතා කෙටි වෙලාවකින් ඉවර වෙනවා, නැතහොත් විඳින්න තරම් මුදල් ප්රමාණවත් වන්නේ නැහැ. අවංකව හෝ අවංක නොවී මුදල් හම්බ කරන්නේ මෙම සතුට ලබාගැනීමටයි.
මීට අමතරව, අපේ සතුට අප තුළ රඳවා ගැනීමට අප නොපෙනෙන අදෘශ්යමාන බලවේගයක් හෙවත් දෙවි කෙනෙකු සොයනවා. අපේ සතුට තියෙන්නේ එයා ළඟ යැයි සිතා දේවාලවලට හෝ සර්වබලධාරී දෙවියන් වහන්සේ වෙත ගොස් යාඥා කරමින් සතුට ඉල්ලනවා. උපන් දා සිට ඇසින් දුටු යාන වාහන, මිල මුදල්, ලිංගිකත්වය, කාමුකත්වය, ගුවන් ගමන් වැනි දේ පදනම් කරගෙන අප එම නොපෙනෙන බලවේගයන්ගෙන් ඉල්ලන්නේද ලෞකික සතුටයි.
අන්තිමේදී වයසට ගිය පසු හෝ මරණයෙන් පසුව සතුට දෙවියන් ළඟ තියෙනවා යැයි සිතා මරණින් මත්තේ සතුටක් ගැන බලාපොරොත්තු වෙනවා. පාරම්පරිකව මුතුන් මිත්තන්ගෙන් ආ ආගමික විශ්වාසයන් අනුව අප දෙවියන් ළඟ සතුට ඇතැයි අදහනවා. නමුත් අවුරුදු 20 හෝ 30 දී ඔබේ සතුට දෙවියන්ට භාර දී, අවුරුදු 70 හෝ 80 දී මරණයෙන් පසුව සතුටු වෙන්න බලන් සිටිනවා නම්, මනුස්ස ලෝකයේ ඉතිරි අවුරුදු 30 හෝ 40 පුරාම ඔබට සිදුවන්නේ පීඩාවෙන් හා අසතුටින් සිටීමටයි. මෙයින් සියදිවි නසාගැනීම් වැනි දේ අනුමත කරන්නේ නැත. නමුත් නොපෙනෙන බලවේගයකට සතුට භාර දී මනුස්ස ලෝකයේ දුක් විඳීම පිළිබඳව ඔබ ප්රශ්න කළ යුතුය.

ස්වභාවධර්මයේ මායාව: අවිද්යාව සහ මෝහය
අපේ මනස ඇතුළාන්තයේ යම්කිසි ගැටලුවක් පවතිනවා. ස්වභාවධර්මයේ සඟවා ඇති රහස බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ අවිද්යාව ලෙසයි. අවිද්යාව යනු සත්යය ඇති සැටියෙන් නොපෙන්වා මුළා කිරීමයි. මෙයට බුදු දහමේදී මෝහය ලෙසද කියනු ලබයි.
අවිද්යාව සහ මෝහය මඟින් සිදුවන්නේ අපව සම්පූර්ණයෙන්ම මුළා කිරීමයි. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්රියයන් පහෙන් බාහිර ලෝකයෙන් සතුට සොයන්නැයි අපට සංඥා දෙයි. බාහිර ලෝකයෙන් සොයා එපා වූ විට නොපෙනෙන සර්වබලධාරී දෙවියෙකුගෙන් ඉල්ලන්නැයි කියයි. මෙය ස්වභාවධර්මයෙන් අපට ලබා දී ඇති විශාල මායාවකි.
වර්තමානයේ ලංකාවේ පවතින ආර්ථික, දේශපාලනික හා සමාජමය තත්ත්වයත් සමඟ සාමාන්ය හා දුප්පත් මිනිසුන්ට ජීවත් වීම විශාල දුක්ඛ එනම්, දැඩි පීඩාවක් හා නොසන්සුන්භාවයක් බවට පත්ව තිබේ. මාසය අන්තිමට පඩිය ඉවර වන විට, විවාහ වී දරුවන්ගේ වගකීම් දරන අයට ජීවිතය අපායක් මෙන් දැනේ. බොහෝ දෙනා පවසන්නේ මහණ වෙන්න හිතෙන තරමට ජීවිතය එපා වී ඇති බවයි. තැලිලා, පොඩි වෙලා ඉන්නේ ස්වභාවධර්මයේ මායාවට අහුවූ නිසයි.
ආර්ථික පීඩනයට හසුවන ඇතැම් නිරාගමික පුද්ගලයින් පවා අන්තිමේදී තමන් අදහන්නේ නැති දේවාලවල පෝලිම්වල ඉස්සරහම සිටිමින් දෙවියන්ගෙන් පිහිට ඉල්ලයි. අමනුස්සයන් හෝ දෙවිවරු නැතැයි ලොකු ටෝක් දුන් අය පවා සැබෑ සතුට හා පිහිට සොයා නොයන දේවාලයක් නැති තරම්ය.

සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් වහන්සේගේ ප්රඥාවේ මාවත
මෙන්න මේ ස්වභාවධර්මයේ මායාව එදා සිද්ධත්ත මහා බෝධිසත්ත්වයන් වහන්සේ පැහැදිලිව තේරුම් ගත්තා. ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්රියයන්ගෙන් ලැබෙන තොරතුරු වැරදි බව උන්වහන්සේ ප්රඥාව හෙවත් යථාර්ථය දැකීමේ ගැඹුරු නුවණින් වටහා ගත්තා. බෝධිසත්ත්වයන් වහන්සේ ඉන්ද්රියයන් කපා දමා අන්ධ කරගත්තේ නැත. නමුත් එම ඉන්ද්රියයන් හරහා ලැබෙන තොරතුරුවලට අහුවෙන්නේ නැතිව තමන්ගේ ඇතුළාන්තයට යොමු වුණා.
සංසාරයේ ප්රඥාව පුරුදු කළ උන්වහන්සේ, බඹයක් තරම් වූ මේ ශරීරය තුළම සත්යාවබෝධය හා ලෝකය පවතින බව දේශනා කළා. බාහිර ලෝකයට දෙන අවධානය අඩු කර, තම මනස ඇතුළාන්තය ගවේෂණය කිරීමට පටන් ගත්තා. ලෞකික වස්තූන්, පුද්ගලයන් හෝ දෙවියන් ළඟ යාඥා කළත් හමු නොවූ සැබෑ සතුට පවතින්නේ තමන්ගේම මනස ඇතුළේ බව උන්වහන්සේ ස්ථිර කරගත්තා.
මෙම සත්යය අවබෝධ කරගෙන බුද්ධත්වයට පත් වූ උන්වහන්සේ පස්වග මහණුන් ඇතුළු සියලු දෙනාට දේශනා කළේ බාහිරෙන් එන තොරතුරුවලට රැවටෙන්නේ නැතිව ඇතුළාන්තය සොයා යන ලෙසයි. ඒ පණිවිඩය අසා උන්වහන්සේලා රහත් භාවයට පත් වුණා. වසර 2500 කට පසුවත් ත්රිපිටකයේ හා මහා සංඝරත්නය අතර සුරක්ෂිතව පවතින්නේ එම උතුම් පණිවිඩයයි.

ඔබේ සැබෑ සතුට පවතින්නේ ඔබ තුළමය
ඔබේ ඇතුළාන්තයේ පවතින ගැටලුවකට නොපෙනෙන දෙවියෙකුට භාරදෙන්නේ ඇයිදැයි ඔබම කල්පනා කර බලන්න. අප නොසිතුවාට අප අදහන දෙවිවරුන්ටත් සතුට සම්බන්ධයෙන් ඔය ප්රශ්න සියල්ල පවතිනවා. ඔබේ සතුට නොපෙනෙන බලවේගයකට භාරදීම යනු ස්වභාවධර්මයේ ලොකුම රැවැට්ටුමට හසුවීමයි. මෙයින් මිදී අපේ මනස තුළ සිදුවන ක්රියාවලිය දෙස බැලිය යුතුය.
ඔබ ලබාගත් සියලු ලෞකික අත්දැකීම් දැනුණේ කොතැනටද? ඇස, කන, නාසය, දිව, ශරීරයෙන් ගත් සියලු තොරතුරු දැනුණේ ඔබේ හිතට හෝ මනසටයි. සියල්ල දැනෙන්නේ හිතට නම්, ඇල්ලිය යුත්තේ ඒ හිත නේද කියා එදා බෝධිසත්ත්වයෝ කල්පනා කළා. ඔබ සර්වබලධාරී දෙවියන්ගෙන් හෝ දේවාලයකින් ඉල්ලා සිටින සතුට ලැබුණත්, එය අන්තිමේදී දැනෙන්නේද ඔබේ හදවතට සහ මනසටයි. එසේ නම් ඒ දැනෙන තැන වන තමන්ගේ මනස ඇතුළාන්තය පරික්ෂා කර බලන්න.
හැමෝම වෙන කොහෙදෝ පාරක යමින් ස්වභාවධර්මයේ මායාවට රැවටෙන විට, සැබෑ සතුට පවතින්නේ තමන් ළඟම බව තේරුම් ගත් දාට ඔබට ඔබේ මනස සොයාගත හැකිය. නොපෙනෙන දෙවියෙක් ළඟ නොව, සතුට පවතින්නේ ඔබ තුළම බව ප්රායෝගිකවම දැනගන්න.
සියලු දෙනාටම බුද්ධ, ධම්ම, සංඝ යන ත්රිවිධ රත්නයේ අනුභාවයෙන් මේ කරුණු මනා කොට අවබෝධ කරගෙන ප්රායෝගිකව ධර්මයේ හැසිරීමට ශක්තිය ලැබේවා!

මේ උතුම් මඟෙහි අප සමඟ එක්ව ගමන් කිරීමට ඔබටත් අපි ආරාධනා කරමු. අපගේ ඉගැන්වීම් කියවා, සියල්ලටම වඩා වැදගත් ලෙස, ඒවා ඔබගේ ජීවිතයට ප්රායෝගිකව යොදාගන්න. ඔබ ලබන අත්දැකීම් සහ ඔබට ඇතිවන ගැටළු, අපගේ ලිපියට පහළින් ඇති අදහස් තීරුවේ සටහන් කරන ලෙස අපි ඔබව දිරිමත් කරන්නෙමු. ඔබ අසන ප්රශ්න, ඔබගේ අවශ්යතාවලටම ගැලපෙන ලෙස ඉදිරි ලිපි සහ වීඩියෝ සකස් කිරීමට අපට මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම, වෙබ් අඩවියේ ඇති ‘Contact Us‘ පෝරමය හරහා ද ඔබට අප හා සම්බන්ධ විය හැකිය.
අපගේ මෙම උත්සාහය, ඔබ තුළ සැඟවී ඇති ආධ්යාත්මික බීජය, එනම් සමාධිය, ධ්යාන සහ අභිඥා වැනි ගුණාංග පෝෂණය කිරීමයි.
අප සමඟ එක් වූ ඔබට ස්තූතියි. මෙම වෙබ් අඩවිය ඔබගේ අධ්යාත්මික ගමනට මහත් ශක්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!







