තෙරුවන් සරණයි සියලු දෙනාටම!
අදත් අපගේ ආධ්‍යාත්මික භික්ෂූන් (Adhyathmika Bhikshun) ලිපි මාලාව සමග ප්‍රායෝගිකවම ආධ්‍යාත්මික ජීවිතය ගවේෂණය කරන ඔබට, නොපෙනෙන ලෝකයක් සම්බන්ධයෙන් වැදගත් කරුණක් සාකච්ඡා කිරීමට අප සූදානම්. මීට පෙර අප කතා කළ “විශ්වයෙන් පැමිණි නියෝජිතයින්“ යන මාතෘකාව ඔස්සේ, අපගේ අත්දැකීම් ඇසුරින්, මෙම විශ්වයෙන් පණිවිඩ ලැබෙන ආකාරය පිළිබඳව පුළුල්, නිවැරදි අවබෝධයක් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශගතව වෙසෙන බොහෝ දෙනෙක් මෙවැනි අත්දැකීම්වලට මුහුණ දෙනවා. විවිධ ජාතීන් සහ ආගම්වල අයටද මෙම අත්දැකීම් පොදුයි. එබැවින් මේ පිළිබඳව නිවැරදි දැනුමක් ලබා දීම ඉතා වැදගත් බව අපට හැඟෙනවා. ‘විශ්ව නියෝජිතයින්’ යනු කවුද? ඔවුන් පැමිණෙන්නේ කොහේ සිටද? ඔවුන්ගේ කාර්යභාරය කුමක්ද? ඔවුන් ප්‍රායෝගිකව හැසිරිය යුත්තේ කෙසේද? යනාදී මූලික කරුණු අප මීට පෙර සාකච්ඡා කර තිබෙනවා. අද අප අවධානය යොමු කරන්නේ ඔවුන්ට විශ්වයෙන් පණිවිඩ ලැබෙන විධික්‍රම පිළිබඳවයි.
මෙවැනි පණිවිඩ ලැබෙන බව පවසන පුද්ගලයින් විවිධ සමාජ ස්ථරවල, වයස් මට්ටම්වල සහ ආර්ථික පසුබිම්වල සිටිනවා. ඔවුන් උගත්, නූගත්, දුප්පත් හෝ පොහොසත් විය හැකියි. සමහරු මහාචාර්යවරුන් දක්වා ඉගෙනගත් අය වන අතර, තවත් සමහරු සාමාන්‍ය ජීවිත ගත කරන අයයි. එබැවින් මෙම අත්දැකීම කිසිදු බාහිර සාධකයකට සීමා නොවන බව තේරුම් ගැනීම වැදගත්.
කෙසේ වෙතත්, මෙම මාතෘකාව බොහෝ දෙනෙකුට තේරුම් ගැනීමට අපහසු නිසා එය හාස්‍යයට ලක්වන අවස්ථා තිබෙනවා. එසේම, ඇතැම් බටහිර මනෝ වෛද්‍යවරුන් මෙය මානසික රෝගයක් ලෙස හඳුන්වනු ලබනවා. සැබවින්ම මානසික රෝගී තත්ත්වයන් නිසා මෙවැනි දේ අත්විඳින අයද සිටින නමුත්, සැබෑ ලෙසම විශ්වයෙන් පණිවිඩ ලබන අයද සිටිනවා.
මෙම ලිපිය ඔබ මධ්‍යස්ථ සිතින් කියවීමෙන්, ඔබට හෝ ඔබ දන්නා හඳුනන කෙනෙකුට ඇත්තේ සැබෑ ආධ්‍යාත්මික අත්දැකීමක්ද, නැතහොත් මානසික රෝගී තත්ත්වයක්ද, එසේත් නැතිනම් මනසින් මවාගත් ලෝකයක්ද යන්න නිවැරදිව තේරුම් ගැනීමට හැකිවනු ඇත.

පළමු ක්‍රමය: හදිසි පෙරනිමිති ලෙස මනසට ලැබෙන පණිවිඩ
බොහෝ විට මෙම විශ්වයෙන් පණිවිඩ ලැබෙන්නේ කෙළින්ම මනසටයි. මෙය සිදුවන්නේ ස්වභාවිකවම, හදිසියේම හිතට එන සිතුවිල්ලක් ලෙසයි. උදාහරණයක් ලෙස, කොරෝනා වසංගතය පැතිරීමට පෙර ඇතැම් අයට “ඉදිරියේදී මෙවැනි වෛරසයක් එනවා, පරිස්සම් වන්න” යනුවෙන් හදිසි පණිවිඩයක් මනසට ලැබී තිබෙනවා. ඔවුන්ට පවා එය පැමිණියේ කොහෙන්දැයි සිතා ගැනීමට නොහැකි වුණා. එම පණිවිඩය නිසා ඔවුන් කල්තියා ආරක්ෂා වූ අවස්ථා තිබෙනවා.
එලෙසම, මෑතකදී රටේ ඇති වූ තෙල්, ගෑස් සහ ආහාර පෝලිම් ගැනද බොහෝ විශ්ව නියෝජිතයින්ට කල්තියා පණිවිඩ ලැබුණා. දේශපාලන සම්බන්ධතා නොමැති, සාමාන්‍ය දුප්පත්, පොහොසත්, උගත්, නූගත් ඕනෑම කෙනෙකුට මෙම පණිවිඩ ලැබී තිබුණා. අනෙක් අය පෝලිම්වල දුක් විඳිද්දී, ඔවුන් කල්තියාම අවශ්‍ය දෑ රැස්කරගෙන නිවෙස්වලට වී සතුටින් සිටියා.
2004 සුනාමි ව්‍යසනයට පෙරද මුහුදුබඩ සිටි ඇතැම් අයට“මුහුද ගොඩට එනවා” යනුවෙන් ඔවුන්ට තේරෙන භාෂාවෙන් මනසට පණිවිඩ ලැබී තිබෙනවා. එමගින් ඔවුන් රට ඇතුළට ගොස් ජීවිත බේරාගත් අවස්ථාද තිබෙනවා.
වර්තමානයේදී පවා ලෝක යුද්ධයක් ගැන, රටේ හෝ පවුලේ අයට සිදුවන හොඳ හෝ නරක දේවල් ගැන, රැකියා ස්ථානයේ හෝ මිතුරන්ගෙන් වන බලපෑම් ගැන මෙලෙස හදිසි පණිවිඩ ලැබෙනවා.
මෙය කිසිසේත්ම මානසික රෝගයක් නොවන බව මතක තබාගන්න. එබැවින් මෙවැනි අත්දැකීමක් ඇත්නම් කිසිවිටෙක ඔබව විශ්වාස නොකරන අයට ඒ ගැන පැවසීමට යන්න එපා. එසේ පැවසූ විට, ඔවුන් ඔබව මානසික රෝගියෙකු ලෙස හංවඩු ගසනු ඇත. මන්ද, මෙම නොපෙනෙන මානයන් ගැන අවබෝධයක් ඇති පිරිස ඉතා සීමිතයි.
වර්තමාන බටහිර විද්‍යාවේ තාක්ෂණයට මෙම විශ්වයෙන් පණිවිඩ ලැබෙන ආකාරය මැනීමට හෝ තේරුම් ගැනීමට නොහැකියි. ඔවුන්ගේ මිනුම් දඬුවලට ඔබව මැනීමට ගිය විට, ඔබව පිස්සෙකු ලෙස හංවඩු ගැසීම වැළැක්විය නොහැකියි. NASA ආයතනයේ විද්‍යාඥයින් පවා භාවනා ක්‍රම උපයෝගී කරගනිමින් වෙනත් ග්‍රහලෝකවල ජීවීන් සමග මනසින් සම්බන්ධ වීමට උත්සාහ කරන්නේ මේ තාක්ෂණයෙන් එහා ගිය ආධ්‍යාත්මික මානයක් ඇති බව ඔවුන් දන්නා නිසයි. එබැවින්, ඔබ හෝ ඔබ අවට සිටින කෙනෙකු මෙවැනි අත්දැකීම් ලබන්නේ නම්, මෙම කරුණු නිවැරදිව වටහාගෙන ඔවුන්ටද අවබෝධය ලබා දෙන්න.

දෙවන ක්‍රමය: සිත සමඟ සංවාදයක් ලෙස එන පණිවිඩ
දෙවන ක්‍රමය නම්, නොපෙනෙන බලවේගයක් අපගේ සිත සමඟ කතා කිරීමයි. මෙය, අප භාවනා කරන විට සිත තුළ ඇතිවන සාමාන්‍ය සිතුවිලි ප්‍රවාහයට වඩා වෙනස්. එසේම, බින්නෝන්මාදය (Schizophrenia) වැනි මානසික රෝගී තත්ත්වයන්හිදීද සිතට කතා කරන ස්වභාවයක් පවතිනවා. එබැවින් මේ දෙක අතර වෙනස පැහැදිලිව හඳුනා ගැනීම ඉතා වැදගත්.

සැබෑ විශ්ව සංවාදය සහ මානසික රෝගී තත්ත්වය අතර වෙනස
සැබෑ විශ්ව නියෝජිතයෙකු නිශ්ශබ්දව, තමන්ට ලැබෙන දේ දෙස බලා සිටිනවා විනා, තැන නොතැන නොබලා ඒ ගැන කතා කරන්නේ නැහැ. නමුත් බින්නෝන්මාදය වැනි මානසික රෝගී තත්ත්වයක් ඇති අය, පිටතින් මනාව ඇඳ පැළඳ සිටියත්, තමන් ‘දියසෙන්’ හෝ ‘රාවණා’ බව පවසමින්, අන් අය විශ්වාස කළත් නැතත්, තමන්ගේ මතය තොරතෝංචියක් නොමැතිව, හයියෙන් කියාගෙන යනවා. ඔවුන් සුදුසු-නුසුදුසු පුද්ගලයින් ගැන තැකීමක් කරන්නේ නැහැ. සැබෑ හැකියාවක් ඇති අයෙකුට තමන් ගැන පුරසාරම් දෙඩීමට අවශ්‍යතාවයක් නැහැ, ඔවුන් නිහඬවම තම කාර්යය කරගෙන යනවා.
බොහෝ විට මෙවැනි මානසික රෝගී තත්ත්වයන් ඇතිවන්නේ YouTube වැනි මාධ්‍යවලින් දකින දේවල් තමන්ට ආරූඪ කරගැනීමෙනි. ඔවුන්ගේ සිත කතා කරන්නේ, ඔවුන්ම මනසට ඇතුළු කරගත් දත්ත සමුදායයි. එය සැබෑ ලෙස විශ්වයෙන් පණිවිඩ ලැබීමක් නොවේ.

සත්‍යතාවය පරීක්ෂා කරගන්නා ආකාරය
ඔබට ලැබෙන්නේ සැබෑ පණිවිඩයක්ද, නැතිනම් එය මනසේ නිර්මාණයක්ද යන්න හඳුනාගැනීමට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සති සම්පජඤ්ඤය, එනම් මනා සිහිය පැවැත්වීම අත්‍යවශ්‍යයි. සැබෑ විශ්ව නියෝජිතයෙකු (දෙවියෙක්, බ්‍රහ්මයෙක් හෝ පෙර ආත්මයක ඥාතියෙක්) ඔබ සමඟ කතා කරන්නේ නම්, එය පැහැදිලිව, මිත්‍රශීලීව සිදුවේ. ඔවුන් අනවශ්‍ය දේ කතා කරන්නේ හෝ ඔබ අසන සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දෙන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රඥාව ඉහළ නිසා, අවශ්‍යම කාරණාව පමණක් දන්වා නිහඬ වෙනවා.
ඔබට මෙය පරීක්ෂා කිරීමට ක්‍රමයක් තිබේ. ඔබට ලැබෙන පණිවිඩයට විරුද්ධව ක්‍රියා කර බලන්න:
- උදාහරණය 1: “අසවල් ආහාරය කන්න එපා, එයින් ඔබට හානියක් වේවි” කියා පණිවිඩයක් ලැබුණොත්, එය අනුභව කර බලන්න. ඔබට කිසිදු හානියක් නොවන්නේ නම්, එය ඔබේ මනසේ සිතුවිල්ලක් පමණි. නමුත් පණිවිඩයේ කී ලෙසම ඔබට රෝගී තත්ත්වයක් ඇතිවුවහොත්, එය සැබෑ පණිවිඩයකි.
- උදාහරණය 2: “අසවල් ණයක් ගැනීමට උත්සාහ කරන්න එපා, එය සාර්ථක වන්නේ නැහැ” කියා පැවසුවහොත්, ඔබ උපරිම උත්සාහයක් දරා ණය ගැනීමට ක්‍රියා කරන්න. එය කොතරම් උත්සාහ කළත් අසාර්ථක වන්නේ නම්, පණිවිඩය සත්‍යයකි.
- උදාහරණය 3: “අද දින මේ ගමන යන්න එපා” යැයි පණිවිඩයක් ලැබී, ඔබ එම ගමන ගොස් යම් අනතුරකින් අනූනවයෙන් බේරුණේ නම්, එය සැබෑවටම විශ්වයෙන් පණිවිඩයක් ලැබුණු බවට සාක්ෂියකි.
මෙවැනි පරීක්ෂණ කිහිපයක් ඔබ විසින්ම, කිසිවෙකුටත් නොකියා, නිශ්ශබ්දව සිදු කිරීමෙන් සත්‍යය වටහා ගත හැකියි. සැබෑ විශ්ව නියෝජිතයින් මුලින්ම තමන්ට ඇත්තේ මානසික රෝගයක්දැයි අවංකවම සැක කරන අතර, ඔවුන් ඉතා බුද්ධිමත්ව සහ නිහඬව කටයුතු කරයි.

තුන්වන ක්‍රමය: කනට පැහැදිලිව ඇසෙන හඬ (දිබ්බ සෝත ඤාණය)
තුන්වන ක්‍රමය නම්, අප අසල සිටින කෙනෙකු හෝ දුරකථනයෙන් කතා කරනවා මෙන් පැහැදිලිව කනට හඬක් ඇසීමයි. මෙය බුදු දහමේ දිබ්බ සෝතමේ ඤාණය හෙවත් දිව්‍යමය ශ්‍රවණය ලෙස හැඳින්වෙන ආධ්‍යාත්මික හැකියාවයි. මෙහිදී තෙවැනි ඇස වැනි වෙනත් හැකියාවන් නොතිබිය හැකියි.
මෙලෙස කතා කරන නොපෙනෙන බලවේග (මහේශාක්‍ය දෙවිවරු, බ්‍රහ්මයින්) ඉතා ප්‍රඥාවන්තයි. ඔවුන් කතා කරන්නේ ඉතා අඩු වචන ප්‍රමාණයකින්, එහෙත් ගැඹුරු අර්ථයක් ඇති, අවශ්‍යම දේ පමණයි. ඔවුන් අනවශ්‍ය පල්හෑලි කතා කරන්නේ නැහැ.
මෙහිදී මතක තබාගත යුතු වැදගත්ම කරුණ නම්, ඔබට ලැබෙන පණිවිඩය ඔබේ ආරක්ෂාවට පමණක් වීමයි. ඔබ එය අන් අයට කියා අනාවැකි පළකරන්නෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ කළහොත්, එම බලවේග ඔබට වැරදි තොරතුරු ලබා දී ඔබව අපහසුතාවයට පත් කරනු ඇත.
උදාහරණයක් ලෙස, යම් විපතක් දෙසැම්බර් මාසයේ සිදුවන බව ඔබට පැවසුවහොත්, ඔබ එය ප්‍රසිද්ධ කළ විට එය එම මාසයේදී සිදු නොවනු ඇත. එමගින් ඔබ බොරුකාරයෙකු බවට පත්වී ලැජ්ජාවට පත්වේ. එබැවින්, ලැබෙන පණිවිඩය අසා, නිහඬව සිටීම සහ තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීම පමණක් සිදු කරන්න. විශ්වයෙන් පණිවිඩ ලැබීම යනු පෞද්ගලික මගපෙන්වීමක් මිස ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් නොවේ.

හතරවන ක්‍රමය: සිහිනෙන් ලැබෙන පෙරනිමිති
බොහෝ දෙනෙකුට විශ්වයෙන් පණිවිඩ ලැබෙන තවත් ප්‍රධාන ක්‍රමයක් නම් සිහිනයි. විශේෂයෙන්ම මධ්‍යම රාත්‍රිය ඉක්මවා, අලුයම් කාලයේ දකින සිහින බොහෝ විට සැබෑ වන බවට විශ්වාසයක් පවතිනවා. මෙම සිහින හරහා තමන්ගේ, තම පවුලේ අයගේ, මිතුරන්ගේ, රටේ හෝ ලෝකයේ අනාගතයේ සිදුවන හොඳ හෝ නරක දේවල් පිළිබඳ ඉඟි ලැබෙනවා.
තම මිතුරෙකුට සිදුවන අනතුරක් සිහිනෙන් දැක, පසුව එය සැබවින්ම සිදුවූ බව පැවසූ තරුණ තරුණියන් බොහෝ දෙනෙක් අපට හමු වී තිබෙනවා. මෙවැනි සිහිනයක් දුටු විට කුමක් කළ යුතුද? ඔබට හැකි නම් ඒ අයව ආරක්ෂා කිරීමට උපරිම උත්සාහයක් ගන්න. එය කළ නොහැකි වුවහොත්, එය ඔවුන්ගේ කර්ම විපාකයක් ලෙස සලකා සිත හදාගන්න.
සමහර සිහිනවල අර්ථය ඒ මොහොතේම තේරුම් ගැනීමට අපහසු විය හැකියි. එහෙත් කාලයත් සමග, යම් සිදුවීමක් වූ පසු, “එදා මා දුටු සිහිනයේ තේරුම මෙයයි” කියා ඔබටම වැටහෙනු ඇත. කාලයත් සමඟ ඔබටම ඔබේ සිහිනවල අර්ථය තේරුම් ගැනීමට හැකිවනු ඇත. මෙහිදීද වැදගත්ම දේ වන්නේ සිහිනෙන් අවදි වූ පසු සිහියෙන් යුතුව කටයුතු කිරීම සහ තමන්වම පරීක්ෂා කරන ගවේෂකයෙකු වීමයි.

පස්වන ක්‍රමය: විවෘත වූ අධිමානසික හැකියාවන්
පස්වන ක්‍රමය නම්, වර්ධනය වූ අධිමානසික හැකියාවන් ඔස්සේ විශ්වයෙන් පණිවිඩ ලැබීමයි. වර්තමානයේ වයස්, ජාති, ආගම්, උගත්කම හෝ ආර්ථික මට්ටම නොසලකා බොහෝ දෙනෙකුට මෙවැනි හැකියාවන් ස්වභාවිකවම විවෘත වී තිබෙනවා. ඒවා නම්:
- තෙවැනි ඇස (දිබ්බ චක්කුමේ ඤාණය): නොපෙනෙන දේ දැකීමේ හැකියාව.
- අනුන්ගේ සිත් කියවීම (පරචිත්ත විජානනය): අන්‍යයන්ගේ සිතුවිලි දැනගැනීමේ හැකියාව.
- පෙර භවයන් දැකීම: තමන්ගේ හෝ අනුන්ගේ අතීත ජීවිත දැකීමේ හැකියාව.
මෙවැනි හැකියාවන් ඇති අයට, භාවනා කරන විට හෝ අධිෂ්ඨාන කළ විට අනාගතයේ සිදුවන දේ දැකබලා ගැනීමට පුළුවන්. උදාහරණයක් ලෙස, රටට සිදුවන සුනාමි වැනි ස්වභාවික විපත් පවා ඔවුන්ට පෙනෙන අවස්ථා තිබෙනවා.
කෙසේ වෙතත්, මෙහිදීද පෙර කී අනතුරු ඇඟවීම එලෙසම වලංගු වේ. මෙම හැකියාවන් ඔස්සේ තොරතුරු ලැබුණද, සිදුවන දිනය සහ වේලාව හරියටම නොලැබීමට ඉඩ තිබේ. ඔබ එය ප්‍රසිද්ධියේ පැවසීමට ගියහොත්, ඔබව අසත්‍යකාරයෙකු බවට පත් කරමින්, එම සිදුවීම ඔබ කී දිනට සිදු නොවනු ඇත. මෙම දැනුම ලබා දෙන්නේ සුදුසුම අයට, සුදුසුම අවස්ථාවේදී පැවසීමට මිස, ලෝකයා ඉදිරියේ තමන්ව ඔප්පු කිරීමට නොවේ. එබැවින්, වඩාත්ම සුදුසුම දේ නම් නිහඬව, ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරීමයි.

නිගමනය: ප්‍රඥාවෙන් සහ නිහඬතාවයෙන් යුතු ආධ්‍යාත්මික ගමන
මෙම විග්‍රහය හරහා විශ්ව නියෝජිතයින්ට විශ්වයෙන් පණිවිඩ ලැබෙන ආකාරය පිළිබඳව ඔබට පුළුල් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි සිතනවා. මෙම ගමනේදී වැදගත්ම දෙය වන්නේ බුද්ධිය, ප්‍රඥාව සහ මනා සිහියෙන් යුතුව තමන් ලබන අත්දැකීම් විමසා බැලීමත්, අනවශ්‍ය ලෙස ඒවා ප්‍රසිද්ධ නොකර නිහඬව කටයුතු කිරීමත්ය.
ඔබ සියලු දෙනාට බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් මෙම කරුණු මැනවින් වටහාගෙන, අවබෝධයෙන්, ප්‍රඥාවෙන් සහ දැනුමෙන් යුතුව කටයුතු කිරීමට ශක්තිය ලැබේවා!

මේ උතුම් මඟෙහි අප සමඟ එක්ව ගමන් කිරීමට ඔබටත් අපි ආරාධනා කරමු. අපගේ ඉගැන්වීම් කියවා, සියල්ලටම වඩා වැදගත් ලෙස, ඒවා ඔබගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්න. ඔබ ලබන අත්දැකීම් සහ ඔබට ඇතිවන ගැටළු, අපගේ ලිපියට පහළින් ඇති අදහස් තීරුවේ සටහන් කරන ලෙස අපි ඔබව දිරිමත් කරන්නෙමු. ඔබ අසන ප්‍රශ්න, ඔබගේ අවශ්‍යතාවලටම ගැලපෙන ලෙස ඉදිරි ලිපි සහ වීඩියෝ සකස් කිරීමට අපට මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම, වෙබ් අඩවියේ ඇති ‘Contact Us‘ පෝරමය හරහා ද ඔබට අප හා සම්බන්ධ විය හැකිය.
අපගේ මෙම උත්සාහය, ඔබ තුළ සැඟවී ඇති ආධ්‍යාත්මික බීජය, එනම් සමාධිය, ධ්‍යාන සහ අභිඥා වැනි ගුණාංග පෝෂණය කිරීමයි.
අප සමඟ එක් වූ ඔබට ස්තූතියි. මෙම වෙබ් අඩවිය ඔබගේ අධ්‍යාත්මික ගමනට මහත් ශක්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!
