Title

254

ආනාපානසති භාවනා | ධ්‍යාන ඉපදවීම | ප්‍රායෝගික භාවනා 01

ආනාපානසති භාවනාව මගින් ධ්‍යාන ලබන්නේ කෙසේද? මෙම සම්පූර්ණ ලිපියෙන්, භාවනාවට සූදානම් වීමේ සිට, සිත එකඟ කරගැනීම, සහ පළමු ධ්‍යානය අත්විඳින ආකාරය දක්වා සියලු ප්‍රායෝගික පියවර සරලව, පැහැදිලිව විස්තර කෙරේ. ඔබගේ ආධ්‍යාත්මික ගමනට මග පෙන්වීමක්.

තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම!

අදත් අපගේ ‘ආධ්‍යාත්මික භික්ෂූන්’ ඉගැන්වීම් සමග ප්‍රායෝගිකවම ආධ්‍යාත්මික ජීවිතය ගවේෂණය කරන ඔබ වෙත, අපි විවිධාකාර පැතිකඩවල් වලින් භාවනා ක්‍රම කියාදීමට යෙදී සිටිනවා. මීට පෙර ඔබට ප්‍රායෝගිකවම පුහුණු වීමට භාවනා ක්‍රම දෙකක් හඳුන්වා දුන්නා. ඉන් පළමුවැන්න ‘තෙවැනි ඇස ප්‍රායෝගික භාවනා වැඩසටහන් පිළිවෙල’ වන අතර, දෙවැන්න ‘බඹලොවට ප්‍රායෝගික භාවනා ක්‍රමය’ යි. මෙම ක්‍රම ඔස්සේ අපගේ ප්‍රායෝගික අත්දැකීම් ඇසුරෙන් ධ්‍යාන උපදවන ආකාරය අපි ඔබට පැහැදිලි කළා.

ඉන්පසුව, සිහිය සහ විදර්ශනාව මූලික කරගත් සතර සතිපට්ඨානය පිළිබඳව දේශනා ලබා දීමට අපට හැකි වුණා. ඒ දේශනා අනුව කටයුතු කරන පිරිසක් ද සිටිනවා. තවදුරටත්, තෙවැනි ඇස අවදි කරගත හැකි වෙනත් භාවනා ක්‍රම පිළිබඳවත් අප ඔබට කියා දුන්නා. ඒ අතර ආනාපානසති භාවනාව, බුද්ධානුස්සතිය, අසුභ භාවනාව සහ මෛත්‍රී භාවනාව ඔස්සේ පවා එම හැකියාවට ළඟා වන ආකාරය සඳහන් කළා.

බොහෝ දෙනෙක් මේවා ප්‍රායෝගිකව පුහුණු කර, තෙවැනි ඇස අවදි කරගත් ආකාරයත්, ඊට පෙර අවස්ථාවක් වන ආලෝක සංඥා මට්ටමට පැමිණි ආකාරයත් අපට දන්වා තිබෙනවා. ඔවුන් අපෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඉදිරියට කටයුතු කරනවා.

ඔබ දන්නා පරිදි, අපගේ ඉගැන්වීම් පොතට පතට හෝ ත්‍රිපිටකයට පමණක් සීමා වී නැහැ. අපි ඔබට ලබා දෙන්නේ ප්‍රායෝගික අත්දැකීම්, සරලව තේරෙන භාෂාවෙන්. මේ සඳහා ජාති, කුල, ආගම් හෝ වයස් භේදයක් නැහැ. ඕනෑම කෙනෙකුට මෙය පහසුවෙන් පුහුණු කළ හැකියි. ගැඹුරු වචන, පාලි ශබ්ද කෝෂ භාවිතයෙන් තොරව සරලව කියා දෙන්නේ ඒ නිසයි.

වැදගත් වන්නේ කෙසේ කීවත්, ඔබට අප කියන දේ තේරුම් ගෙන ඒ අනුව පුහුණු වීමයි. අද බොහෝ ස්වාමීන් වහන්සේලා පාලි භාෂාවෙන් ගැඹුරින් විදර්ශනා භාවනාව සහ සතර සතිපට්ඨානය කියා දෙනවා. නමුත් මුල් කාලයේ සිටම බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලා සිටියේ ගැඹුරු වචන නැතුව, සරලව කියා දෙන ලෙසයි. ඒ නිසා, මීට වසර දෙකකට පෙර සිටම අපි ඉතා සරල ආකාරයෙන් ඉගැන්වීම් ආරම්භ කළා.

මේ නිසා විශ්වවිද්‍යාල සිසුන්, පාසල් දරුවන්, විවිධ රැකියා ක්ෂේත්‍රවල නියුතු අය, විවිධ ජාතීන් හා ආගම්වලට අයත් පිරිස් උනන්දුවෙන් භාවනාවේ යෙදෙනවා. ඔවුන්ගේ අත්දැකීම් අපට දැනුම් දීම ගැන අපට ඇත්තේ සතුටක්. ඉදිරියටත් අපි ඔබට කුමන ආකාරයේ ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන්නත් එය සරලවම ලබා දෙනවා. ඒ වගේම අවශ්‍ය උපදේශන සේවාවත් සරලවම දේශනා මාර්ගයෙන් ලබා දෙනවා. මීට අමතරව, අපගේ වට්ස්ඇප් අංකය ඔස්සේ ඔබ යොමු කරන ගැටළුවලට ද අප හැමවිටම පිළිතුරු ලබා දෙනවා. ඒ නිසා කිසිදු බියකින් තොරව මෙම පුහුණුවීම්වල යෙදීමට ඔබට හැකියාව තිබෙනවා.

How-to-Attain-Jhana-A-Practical-Guide-to-Anapanasati-Meditation-An-Invitation-to-Practical-Spirituality_33783

අද මාතෘකාව: ආනාපානසති භාවනාවෙන් ධ්‍යාන ලැබීම

මීට පෙර අපි ආනාපානසති භාවනාව ඔස්සේ තෙවැනි ඇස අවදි කරගන්නා ආකාරය පිළිබඳව සම්පූර්ණ දේශනාවක් ලබා දුන්නා. එහිදී ඔබ ලැබිය යුතු අත්දැකීම් මොනවාද, ඒවා ලබද්දී කළ යුත්තේ කුමක්ද යන්න මුල සිට අගට සරලව පැහැදිලි කළා.

මෙවර අප ඔබට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ, මේ ආනාපානසති භාවනාව ඔස්සේ කෙනෙක් ධ්‍යාන ලබන්නේ කෙසේද? ධ්‍යාන ගමන් මාර්ගයේ ගමන් කරන්නේ කෙසේද? පළමු ධ්‍යානයේ සිට දෙවැනි, තෙවැනි, හතරවැනි සහ පස්වැනි ධ්‍යානය දක්වා ගමන් කරන්නේ කෙසේද යන්නයි.

මෙහිදී මා පංචම ධ්‍යානය ලෙස සඳහන් කළා. ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අනුව ධ්‍යාන හතරක් ගැන සඳහන් වෙනවා. නමුත් අභිධර්ම පිටකයට පැමිණි විට, ධ්‍යාන වශයෙන් සිත් පහක් පෙන්වීමට අවශ්‍ය නිසා පංචම ධ්‍යානයක් ලෙස එය දක්වා තිබෙනවා. ඒ නිසා ඔබ ධ්‍යාන හතරක් හෝ පහක් ලෙස සැලකුවත්, ඒ දෙකම එක හා සමාන මට්ටමක්. ඒ ගැන ඔබ පටලවා ගත යුතු නැහැ. කෙසේ නමුත්, අද සිට ඔබට ප්‍රායෝගිකව ධ්‍යාන ලබන ආකාරය ගැන පුහුණුව ලබා දීමට අප සූදානම්.

How-to-Attain-Jhana-A-Practical-Guide-to-Anapanasati-Meditation-The-Journey-to-Jhana-Through-Anapanasati-Meditation_38251

භාවනාව ආරම්භ කිරීමට පෙර ඔබ දැනගත යුතු දේ

ඔබ අද මෙම ප්‍රායෝගික භාවනාව ආරම්භ කරන, අපගේ ඉගැන්වීම් වලට නවක කෙනෙක් නම්, මෙම ලිපිවල සඳහන් වන උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්න. යම් ගැටළුවක් ඇත්නම්, එයට පිළිතුරක් අපගේ ලිපිවල සඳහන් වී නොමැති නම්, අපගේ වට්ස්ඇප් අංකය වෙත යොමු කරන්න. ඔබට අනිවාර්යයෙන්ම පිළිතුරක් ලැබෙනු ඇත. නවකයන්ට තවත් වැදගත් කරුණක් නම්, අපගේ දේශනා මාලාවන් මුල සිට පිළිවෙළට ශ්‍රවණය කිරීමයි. මන්ද, ඔබට අවශ්‍ය සියලු දැනුම අපගේ ප්‍රායෝගික අත්දැකීම් තුළින් ඔබට ලැබෙනු ඇත.

එසේම, ඔබ අපගේ ‘තෙවැනි ඇස’ හෝ ‘බඹලොවට’ ප්‍රායෝගික භාවනා ක්‍රමයක් හෝ වෙනත් ගුරුවරයෙක් යටතේ හෝ තනිවම මාස තුනක්, හයක් හෝ වසරක් වැනි කාලයක් භාවනා කර කිසිදු ප්‍රතිඵලයක් ලබා නොමැති කෙනෙක් විය හැකියි. අපගේ ක්‍රමයට අනුව, ඕනෑම කෙනෙක් එක භාවනා ක්‍රමයක් අවම වශයෙන් මාස තුනක් හෝ හයක්වත් පුහුණු කළ යුතුයි.

එසේ මාස ගණනාවක් පුහුණු කර ප්‍රතිඵල නොමැති අයෙක් නම්, මෙතෙක් කල් කළ භාවනා ක්‍රම පසෙකලා, අද සිට ආනාපානසති භාවනාව ඔස්සේ ධ්‍යාන ලබාගැනීම සඳහා පුහුණු වීමට ඔබට හැකියාව තිබෙනවා.

මීට අමතරව, භාවනාව අතරතුර කළ යුතු දේවල් පිළිබඳව අප මූලික කාලයේ දේශනා ලබා දී තිබෙනවා. ඒ අතර ඇති පිරිත් සජ්ඣායනාව සහ ‘තෙවැනි ඇස මෛත්‍රී භාවනාව’ යන දේශනා දෙකටම සවන් දෙන්න. එම වත්පිළිවෙත් සහ මෛත්‍රී භාවනාව සඳහා දිනපතා යම් කාලයක් වෙන් කරන්න. එය ඔබගේ භාවනාවට ඇති බාධා බොහොමයක් මඟහරවා ගැනීමට උපකාරී වේවි. ඊළඟට, අපගේ ‘සිහිය පැවැත්වීමේ දේශනා මාලාව’ අනුව සිහිය සම්බන්ධයෙන් කටයුතු කරන්න.

ඔබට පහසුවෙන් සොයාගැනීම සඳහා අපි ඒ සියල්ල වෙන වෙනම play list ලෙස සකසා තිබෙනවා. එම දේශනා මාලාව ශ්‍රවණය කර ඒ අනුව කටයුතු කරන්න. ඉන් අනතුරුව, මා ඉහත සඳහන් කළ නවක සහ ප්‍රතිඵල නොලද පළපුරුදු යන දෙකොටසම අද සිට මෙම ක්‍රමය පුහුණු කිරීම ආරම්භ කරන්න.

How-to-Attain-Jhana-A-Practical-Guide-to-Anapanasati-Meditation-Creating-Your-Sacred-Space-and-Posture_14481

ප්‍රායෝගෝගික පුහුණුව: භාවනාව සඳහා සූදානම් වීම

හොඳයි, අපි දැන් මේ ආනාපානසති භාවනාව ඔස්සේ ප්‍රායෝගිකව ධ්‍යාන උපදවා ගන්නේ කෙසේද, එහි මූලික අඩිතාලම කුමක්ද කියා බලමු. මෙය, ආනාපානසති භාවනාව ඔස්සේ ධ්‍යාන උපදවන ආකාරය පිළිබඳ පළමු ප්‍රායෝගික වැඩසටහනයි. ඉදිරියටත් මේ පිළිබඳව ලිපි ඔබට කියවීමට ලැබේවි. එනිසා, හොඳින් අවධානය යොමු කරන්න. දෙතුන් වතාවක් කියෙව්වත් ගැටළුවක් නැහැ.

ඔබ උදෑසන භාවනා කරන, අප කියන වත්පිළිවෙත්වල යෙදෙන කෙනෙක් නම්, බුදු පිළිමයක් ඉදිරිපිට භාවනා කිරීම ඉතා සුදුසුයි. මූලික අවධියේදී කාමරයක භාවනා කරන විට, ඇඳ දුටු පමණින් නින්ද ඒමට ඉඩ තිබෙනවා. එවිට ක්ෂණිකව නින්දට වැටී භාවනාව අඩාල විය හැකියි. ථීනමිද්ධය (නින්ද සහ චිත්ත අලස බව) ඉස්මතු විය හැකියි. නමුත් බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට භාවනා කිරීමෙන් එම ගැටළුව මඟහරවා ගත හැකියි.

ඔබ අන්‍යාගමිකයෙක් නම්, ඔබට බුදු පිළිමයක් නොතිබෙන්නට පුළුවන්. එය ගැටළුවක් නොවේ. ඔබගේ නිවසේ ඇති නිදහස්, නිස්කලංක තැනක සිට භාවනා කරන්න. සොබාදහමට සමීප, ගස් කොළන් ඇති පරිසරයක් තෝරා ගැනීමත් ඉතා සුදුසුයි.

භාවනා කිරීමට සුදුසු යැයි ඔබට හැඟෙන නිදහස් තැනකට ගොස්, අඟලක හෝ ඊට අඩු ඝනකමකින් යුතු කුඩා කුෂන් එකක් හෝ භාවනා ආසනයක් භාවිතා කරන්න. විශාල, ඝනකම වැඩි කොට්ට සුදුසු නැහැ. එම ආසනය මත වාඩිවෙන්න.

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව, ඔබට පද්මාසනයෙන් (Lotus Pose) හෝ බද්ධ පර්යංකයෙන් (Half-lotus or crossed-leg pose) වාඩි විය හැකියි. මෙම ආසන ගැන ඔබ නොදන්නේ නම්, අන්තර්ජාලයෙන් හෝ යූටියුබ් වීඩියෝ මගින් තොරතුරු සොයාගත හැකියි. ශරීරය නම්‍යශීලී අයට මෙම ආසන පහසුයි. නමුත් මේවා අනිවාර්ය නැහැ. බද්ධ පර්යංකයෙන්, එනම් සාමාන්‍ය පරිදි කකුල් නවාගෙන වාඩිවෙන්නත් පුළුවන්.

කොන්දේ හෝ කකුල්වල ආබාධ ඇති, වයස්ගත වීම නිසා කකුල් නැවීමට අපහසු අයට පමණක්, කොන්ද කෙළින් තබාගත හැකි පුටුවක් භාවිතා කළ හැකියි. අන් සියලු දෙනාම, කකුල් නැවිය හැකි නම්, අනිවාර්යයෙන්ම බිම භාවනා ආසනයක වාඩි විය යුතුයි.

How-to-Attain-Jhana-A-Practical-Guide-to-Anapanasati-Meditation-The-Gentle-Art-of-Watching-the-Breath_52240

භාවනාව අරඹමු: නිවැරදි ඉරියව්ව සහ අධිෂ්ඨානය

මේ ආකාරයට වාඩි වූ පසු, ඔබ අධිෂ්ඨානයක් කළ යුතුයි. අප මීට පෙර ලිපිවල සඳහන් කළ අධිෂ්ඨාන තුන (උදා: පෙර සංසාරයේ පුහුණු කළ ශක්තීන් අවදි වේවා!) මෙහිදී සිදු කිරීම අනිවාර්යයි. එම ලිපි කියවා ඒ පිළිබඳව දැනුවත් වන්න.

වාඩි වූ පසු, බිත්තියට හේත්තු නොවී, අඟලක පමණ පරතරයක් තබා කොන්ද සෘජුව තබා ගන්න. මුහුණ ද කෙළින්, සමාන්තරව තබා ගන්න. මුහුණ උඩට හැරවිය යුතුයි, පහතට හැරවිය යුතුයි වැනි විවිධ මිත්‍යා මතවලට හසු නොවන්න. ඔබට පහසු ආකාරයෙන් කොන්ද සහ බෙල්ල සෘජුව තබාගැනීම ප්‍රමාණවත්.

භාවනා කරන විට කොන්දේ අපහසුවක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එවිට, තදබල අපහසුවක් ඇත්නම් පමණක්, මොහොතකට බිත්තියට හේත්තු වී විවේක ගෙන, අපහසුව අඩු වූ පසු නැවත කොන්ද සෘජු කරගන්න. නමුත්, ඉවසාගෙන සිටීමට හැකි නම් එය ඉතා වටිනවා. මන්ද, මාසයක් පමණ පුහුණු වන විට, ශරීරය එයට හුරු වී කිසිදු ආධාරකයක් නොමැතිව සෘජුව සිටීමට හැකි වේවි. මා නැවතත් අවධාරණය කරන්නේ, බිත්තියට හේත්තු විය යුත්තේ දැඩි අපහසුවකදී පමණක් බවත්, දිගටම හේත්තු වී භාවනා නොකළ යුතු බවත්ය.

කකුල් රිදෙනවා නම් කුමක් කළ යුතුද යන්න පිළිබඳව, ‘භාවනා කරද්දී කකුල් රිදෙනවාද?’ යන අපගේ දේශනාව ඇසීමෙන් ඔබට සියලු පිළිතුරු ලැබේවි. ඒ නිසා මෙම ලිපිය දීර්ඝ වන බැවින් ඒ ගැන මෙහිදී විස්තර කරන්නේ නැහැ.

How-to-Attain-Jhana-A-Practical-Guide-to-Anapanasati-Meditation-Welcoming-Your-Wandering-Mind_62832

ආනාපානසති භාවනාවේ හරය: හුස්ම රැල්ල සමග රැඳීම

දැන්, ඇස් දෙක වසාගෙන ඔබගේ හිත දෙස හොඳින් බලා සිටින්න. ඔබ අපගේ ‘සිහිය පැවැත්වීමේ දේශනා මාලාව’ අනුව සිහිය පවත්වන කෙනෙක් නම්, ඔබට මෙය පහසුවෙන් කළ හැකියි.

අපි පුහුණු වීමට යන්නේ ආනාපානසති භාවනාව යි. මෙය සමථය සහ විදර්ශනාව යන දෙකටම යොදාගත හැකි වුවත්, රේරුකානේ චන්දවිමල නායක හිමියන් වැනි ප්‍රායෝගිකව පුහුණු කළ උතුමන් පවා පෙන්වා දෙන්නේ මෙය වැඩි වශයෙන් සමථයට අයත් බවයි. සමථ භාවනාවක් යනු සිත එකඟ කර, සිත සන්සුන් කරන භාවනාවකි. අද අප කතා කරන්නේ මේ සමථ පැත්තෙන් ධ්‍යාන උපදවන ආකාරයයි. (‘සමථ සහ විදර්ශනා භාවනාවේ වෙනස’ යන අපගේ දේශනාවෙන් ඔබට මේ ගැන වැඩිදුර අවබෝධයක් ලබාගත හැකියි).

ඔබගේ සිත, නාසයේ අගට, එනම් නාසිකාග්‍රයට ගෙන එන්න. ඇස් වසාගෙනම නාසයේ අග ගැන සිතන විට, සිත නිරායාසයෙන්ම එහි පවතිනවා. දැන්, ආනාපානසති යනු හුස්ම රැල්ල කෙරෙහි අවධානය යොමු කිරීමයි. බොහෝ දෙනෙක් කරන වරදක් නම් බලෙන් හුස්ම ගැනීමයි. එය සම්පූර්ණයෙන්ම වැරදියි.

ඔබ එදිනෙදා වැඩ කටයුතු කරද්දී බලෙන් හුස්ම ගන්නේ නැහැ. එය ස්වභාවිකවම සිදුවන්නක්. භාවනාවේදීත් එසේමයි. බලෙන් හුස්ම ගත යුත්තේ, සිත වෙනතක ගොස් අසිහියට පත් වූ විට පමණි. එවිට, සිත නැවත එකඟ කරගැනීම සඳහා එක, දෙක හෝ තුන් වතාවක් පමණක් ගැඹුරු හුස්මක් ගෙන පිට කරන්න. දිගටම එසේ කිරීමෙන් වෙහෙසක් සහ අපහසුවක් ඇති වී භාවනාව අත්හැරීමට සිදුවනු ඇත.

ඔබ කළ යුත්තේ, නාසිකාග්‍රයෙහි සිත තබාගෙන, ස්වභාවිකව ඉහළට යන සහ පහළට එන හුස්ම රැල්ල දෙස සරලව බලා සිටීම පමණයි. බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ මේ බව පැහැදිලිව දේශනා කර තිබෙනවා.

මෙලෙස බලා සිටින විට, ඔබට හුස්ම ඇතුළට ඇදී යන ආකාරයත්, නැවත පිටවන ආකාරයත් දැනේවි. සමහර විට, පළමු හුස්මට වඩා ඊළඟ හුස්ම දීර්ඝ බව ඔබට වැටහේවි. එවිට, ‘මා දැන් ගන්නේ පෙරට වඩා දීර්ඝ හුස්මක්’ කියා සිහියෙන් දැනගන්න. එසේම, පිට කරන හුස්ම පෙරට වඩා දීර්ඝ නම්, එයද දැනගන්න. සමහර විට හුස්ම කෙටි වේවි. මේ සියල්ල ස්වභාවිකව සිදුවන දේ. ඔබ කළ යුත්තේ එය දෙස සිහියෙන් බලා සිටීම පමණයි.

සමහර අවස්ථාවලදී, හුස්ම නොගන්නවා සේ දැනෙන්නට පුළුවන්. එවිට බොහෝ දෙනෙක් බියට පත්වෙනවා. තමන් මියගොස් ඇත්දැයි පරීක්ෂා කිරීමට පවා පෙළඹෙනවා. එසේ බිය විය යුතු නැහැ. ඔබ මිය යන්නේ නැහැ. එය සිත ඉතා සියුම් වූ විට ඇතිවන සාමාන්‍ය අත්දැකීමක්. ආන යනු හුස්ම ඉහළට ගැනීමයි. පාන යනු පිට කිරීමයි. සති යනු ඒ තුළ සිහියෙන් සිටීමයි. ආනාපානසති යනු එයයි. ඉහළට ගන්නා විටත්, පහළට හෙලන විටත් සිහියෙන් බලා සිටින්න.

How-to-Attain-Jhana-A-Practical-Guide-to-Anapanasati-Meditation-The-Dawn-of-Absorption-Entering-the-First-Jhana_06383

සිත විසිරී යන විට කුමක් කළ යුතුද?

ඔබට කිසි විටෙකත්, විශේෂයෙන්ම ආරම්භක අවධියේදී, සිත එකම තැනක තබාගත නොහැකියි. එසේ බලාපොරොත්තු වීම මුලාවකි. (‘භාවනාවෙන් හිත එකඟ කරන්න කලබල වෙන්න එපා’ යන අපගේ දේශනා මාලාවෙන් ඔබට මේ ගැන අවබෝධයක් ලබාගත හැකියි).

භාවනා කරමින් සිටින විට, හිත එකපාරටම අතීතයට ගොස් පාසල් කාලය, ඊයේ දිනයේ සිදු වූ දේවල් වැනි සිතුවිලි ඔස්සේ ගමන් කරයි. ඔබ අසිහියට ගොස් ඇති බව ටික වේලාවකින් ඔබට මතක් වේවි. එවිට, කලබල නොවී, සිත නැවතත් හුස්ම රැල්ල වෙත ගෙන එන්න.

එලෙසම, සිත අනාගතය ගැන සැලසුම් කිරීමට පටන් ගනීවි. ‘භාවනාවෙන් පසු අහවල් දේ කරන්නට තිබෙනවා’ වැනි සිතුවිලි ඒවි. එවිටද, අසිහියට ගිය බව දැනගත් විගස, සිහියට පැමිණ නැවත සිත හුස්ම රැල්ල වෙත යොමු කරන්න.

How-to-Attain-Jhana-A-Practical-Guide-to-Anapanasati-Meditation-The-State-of-First-Jhana_51028

භාවනා අත්දැකීම්: ශරීරයට සහ සිතට දැනෙන දේවල්

ඔබගේ භාවනාවේ ප්‍රගතිය, පෙර සංසාරයේ පුරුදු පුහුණු කිරීම් (සංසාර පුරුද්ද) මත රඳා පවතිනවා. සංසාරයේ පුරුදු කළ කෙනෙකුට ඉක්මනින් ප්‍රතිඵල ලැබිය හැකියි. නමුත්, මේ භවයේ අලුතින් ආරම්භ කළත් අධෛර්යමත් නොවන්න. ඔබ දැන් කරන පුහුණුව, මතු භවයකදී බුදුවරයෙකු හමුවේ නිවන් අවබෝධ කිරීමට පවා උපකාරී වනු ඇත. එය බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළ දෙයක්.

හුස්ම දෙස බලා සිටින විට, එය නාස් කුහරවලින් ඉහළට ගොස්, පපුව ප්‍රදේශයේ කැරකී නැවත පිටවන ආකාරය ඔබට සියුම්ව දැනෙන්නට පටන් ගනීවි. මෙය එක් එක්කෙනාට විවිධ කාලවලදී අත්විඳිය හැකියි.

සිත සියුම් වන විට, ශරීරයේ විවිධාකාර දේවල් දැනෙන්නට පටන් ගනී:

  • ඇඟේ කූඹින් යනවා වැනි හැඟීමක්.
  • කුණ්ඩලිනී ශක්තිය සහ චක්‍ර අවදි වීම් (කොඳු නාරටිය, හිස් මුදුන, නළල මැද තද වීම).
  • නළල මැද (තෙවැනි ඇස/දිබ්බ චක්ඛු ආශ්‍රිත ප්‍රදේශය) හෝ නහය මැද තද වීමක්.

මේවා කිසිසේත්ම අද්භූත දේවල් නොවේ. සිත එකඟ වන විට, ස්නායු පද්ධතිය උත්තේජනය වීමෙන් ඇතිවන සාමාන්‍ය ශාරීරික ප්‍රතිචාර පමණි. මේවා භාවනාවේ සාමාන්‍ය අත්දැකීම් බව තේරුම් ගන්න. (‘භාවනා කරද්දී සිත සියුම් වෙද්දී ශරීරයේ දැනෙන දේවල්’ යන අපගේ දේශනාවෙන් මේ ගැන වැඩිදුරටත් දැනගත හැකියි). සමහරු මේවා මානසික හෝ කායික රෝගයක් ලෙස හෝ භාවනාවේ වරදක් ලෙස සිතා බියට පත්වෙනවා. එසේ පටු ලෙස නොසිතන්න. ප්‍රායෝගික අත්දැකීම් නැති අයගෙන් උපදෙස් ලබාගෙන ඔබගේ භාවනාව වරද්දා ගන්න එපා. ඔබට ගැටළුවක් ඇත්නම් අපෙන් විමසන්න.

How-to-Attain-Jhana-A-Practical-Guide-to-Anapanasati-Meditation-Navigating-the-Inner-Landscape-Physical-Sensations_30333

පළමු ධ්‍යානයට පිවිසීම: කාම සිතුවිලි වලින් මිදීම

ඉතාම වැදගත් උපදේශය මෙයයි: ඔබගේ ශරීරයට කුමන දෙයක් දැනුණත්,නළල මැද තද වුවත්, හිස් මුදුන තද වුවත්, කකුල් රිදුනත්, කූඹින් කනවා වැනි හැඟීමක් ආවත්, ඔබගේ අවධානය හුස්ම රැල්ලෙන් ඉවතට ගෙන නොයන්න. (තෙවැනි ඇස අවදි කිරීමට පුහුණු වන අයට නම් අවධානය යොමු කළ යුතු ආකාරය එම දේශනාවලදී කියා දී ඇත. නමුත් ධ්‍යාන ලැබීමට නම්, ඔබගේ එකම අරමුණ විය යුත්තේ හුස්ම රැල්ල පමණි). ඒ දැනෙන දේ ගණන් නොගන්න. එය ‘ආ, මෙහෙම දෙයක් දැනෙනවා’ කියා දැනගෙන, නැවත හුස්ම රැල්ලටම සිත යොමු කරන්න.

කාලයක් පුහුණු කරන විට ඔබට ආලෝක සංඥා (භාවනාමය ආලෝක) පවා පැමිණිය හැකියි. එවිට තෙවැනි ඇස අවදි කරගැනීමට කැමති නම්, ඒ අදාළ දේශනාව අනුව කටයුතු කරන්න. නමුත් ධ්‍යාන මඟෙහි යන ඔබ, ඒ කිසිවකට හිත යොමු නොකර හුස්ම සමගම රැඳී සිටින්න.

තවදුරටත්, ශරීරය සැහැල්ලු වෙනවා, පාවෙනවා හෝ ගල් වෙනවා වැනි හැඟීම් ඇතිවිය හැකියි. එවිට ද, ‘ආ, මට මෙසේ දැනෙනවා’ කියා දැනගෙන, නැවත අවධානය හුස්ම වෙත ගෙන එන්න. එම සැප වේදනාව තුළ සිත තබාගෙන නොසිටින්න.

මතක තබාගන්න, ධ්‍යානයක් යනු කාම ලෝකයෙන් වෙන් වූ තත්ත්වයකි. කාමය යනු ලිංගිකත්වය පමණක් නොවේ. ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස පිනවන සියලු දේ, ආහාර, දරුවන්, ඉඩකඩම්, කතා, විභාග, කාමයට අයත් වේ. පළවෙනි ධ්‍යානයට පත් වූ විට, මේ කිසිවක් මතක් වන්නේ නැත.

ඔබ පුහුණු වන විට, මුලදී මෙම කාම සිතුවිලි පැමිණේවි. ඔබ සිත නැවත නැවත හුස්ම වෙත ගෙන ආ යුතුයි. ඔබ සිටින්නේ පළමු ධ්‍යානයට යන මාර්ගයේ ය. ක්‍රමයෙන්, සිතුවිලි පැමිණීම අඩු වී, සිත එකඟ වී, පුදුමාකාර සැහැල්ලුවක් සහ නිදහසක් දැනෙන්නට පටන් ගනීවි. ඔබගේ භාවනා කාලය නිරායාසයෙන්ම විනාඩි 30, 40, පැයක් දක්වා වැඩි වේවි. කකුල් සහ කොන්දේ වේදනාවන් පවා නොදැනී යාවි.

How-to-Attain-Jhana-A-Practical-Guide-to-Anapanasati-Meditation-Conclusion-and-Blessing_47312

ධ්‍යානයේ ස්වභාවය සහ එය ප්‍රගුණ කිරීම

මේ ආකාරයට පුහුණු කරන විට, කිසිදු කාම සිතුවිල්ලක්, අතීත හෝ අනාගත සිතුවිල්ලක් නොමැතිව, සිත එකම අරමුණක පවතින මට්ටමක් පැමිණේ. බාහිර ශබ්ද ඇසුනත්, සිත ඒවා පසුපස යන්නේ නැත. ශරීරයට යමක් දැනුණත්, සිත එහි රැඳෙන්නේ නැත. හිත පුදුමාකාර නිදහසකින් පවතී. අන්න ඒ මට්ටම තමයි පළවෙනි ධ්‍යානය ලෙස හඳුන්වන්නේ. කයත් සැහැල්ලුයි, හිතත් සැහැල්ලුයි.

මෙම ධ්‍යානයට විතක්ක-විචාර සහිත පළමු ධ්‍යානය ලෙස කියනවා. සරලව, විතක්කය යනු හුස්ම රැල්ලට සිත යොමු කිරීමයි. විචාරය යනු එම හුස්ම රැල්ල ඉහළ පහළ යන ආකාරය දෙස බලා සිටීමයි.

පළමු ධ්‍යානය ලැබූ පසු, එයට ඇතුල් වීම ඉතා පහසුයි. ඇස් දෙක වසාගත් සැණින්, කිසිදු ආයාසයකින් තොරව සිත එම ඒකාග්‍රතාවයට පත් වේ. එවිට පැය එකහමාර, දෙක, තුන වුවද එකම ඉරියව්වෙන් සිටිය හැකියි.

ධ්‍යානයෙන් අවදි වූ පසුවද, එහි තිබූ සැහැල්ලු, සුවපත් ගතිය යම් වේලාවක් යනතුරු සාමාන්‍ය ජීවිතයේදීත් ඔබට දැනේවි. එය හරියට හැක්ස් ටොෆියක් කෑ පසු, එහි සැර ගතිය මුව තුළ ටික වේලාවක් ඉතිරිව තිබීම වැනිය. මෙය සාමාන්‍ය තත්ත්වයකි.

බාධාවන් ජයගැනීමට අමතර උපදෙස්

ඔබට භාවනා කරන විට දැඩි රාග සිතුවිලි ඇතිවන්නේ නම්, අසුභ භාවනාව (ශරීරයේ පිළිකුල් ස්වභාවය මෙනෙහි කිරීම) පුහුණු කරන්න. ඒ සඳහා ‘අසුභ භාවනාව ඔස්සේ තෙවැනි ඇස අවදි කරගනිමු’ යන අපගේ දේශනාව උපකාරී වනු ඇත.

දැඩි තරහක් හෝ ද්වේශයක් ඇතිවන්නේ නම්, මෛත්‍රී භාවනාව (මෙත් වැඩීම) පුහුණු කරන්න. ඒ සඳහා ‘තෙවැනි ඇස මෛත්‍රී භාවනාව’ යන දේශනාව අනුව කටයුතු කරන්න. එමගින් එම බාධක ජයගත හැකිය.

How to Attain Jhana A Practical Guide to Anapanasati Meditation How to Attain Jhana A Practical Guide to Anapanasati Meditation 60531

ඔබගේ ගමන: පුහුණු වන්න, අත්දකින්න, සහ බෙදාගන්න

මෙය ආනාපානසති භාවනාව ඔස්සේ ධ්‍යාන ඉපදවීම පිළිබඳ පළමු ප්‍රායෝගික දේශනාවයි. මෙහිදී විස්තර නොකළ දේ පවා ඔබට අත්දැකීමට සිදුවිය හැකියි. කුමන දෙයක් ශරීරයට හෝ සිතට දැනුණත්, බිය නොවී, ඔබගේ එකම අරමුණ වන හුස්ම රැල්ල වෙතම අවධානය යොමු කරන්න. ඔබ දිගින් දිගටම, නිවැරදිව පුහුණු කළහොත්, මාස දෙක තුනක් ඇතුළත ඔබට අනිවාර්යයෙන්ම ප්‍රතිඵලයක්, මේ ජීවිතයේදීම ලැබිය හැකි සන්දිට්ඨික (තමා විසින්ම දැකිය හැකි) ප්‍රතිඵලයක් ලබාගත හැකිය.

ඔබගේ අත්දැකීම්, හැකි නම්, මෙම ලිපියට පහළින් අදහස් ලෙස පළ කරන්න. නැතහොත් අපගේ වට්ස්ඇප් අංකයට යොමු කරන්න. එය තවත් කෙනෙකුට දිරිගැන්වීමක් වන අතර, ඔබගේ ප්‍රගතිය අනුව ඉදිරියට යා යුතු ආකාරය පිළිබඳව මග පෙන්වීමට අපටත් එය උපකාරී වනු ඇත.

මෙම කරුණු මනාව වටහාගෙන, ප්‍රායෝගිකවම පුහුණු වීමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා!

මේ උතුම් මඟෙහි අප සමඟ එක්ව ගමන් කිරීමට ඔබටත් අපි ආරාධනා කරමු. අපගේ ඉගැන්වීම් කියවා, සියල්ලටම වඩා වැදගත් ලෙස, ඒවා ඔබගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්න. ඔබ ලබන අත්දැකීම් සහ ඔබට ඇතිවන ගැටළු, අපගේ ලිපියට පහළින් ඇති අදහස් තීරුවේ සටහන් කරන ලෙස අපි ඔබව දිරිමත් කරන්නෙමු. ඔබ අසන ප්‍රශ්න, ඔබගේ අවශ්‍යතාවලටම ගැලපෙන ලෙස ඉදිරි ලිපි සහ වීඩියෝ සකස් කිරීමට අපට මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම, වෙබ් අඩවියේ ඇති ‘Contact Us‘ පෝරමය හරහා ද ඔබට අප හා සම්බන්ධ විය හැකිය.

අපගේ මෙම උත්සාහය, ඔබ තුළ සැඟවී ඇති ආධ්‍යාත්මික බීජය, එනම් සමාධිය, ධ්‍යාන සහ අභිඥා වැනි ගුණාංග පෝෂණය කිරීමයි.

අප සමඟ එක් වූ ඔබට ස්තූතියි. මෙම වෙබ් අඩවිය ඔබගේ අධ්‍යාත්මික ගමනට මහත් ශක්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!

මෙම ලිපිය බෙදාගන්න:

Facebook
LinkedIn
Pinterest
Reddit
X
WhatsApp

ප්‍රතිචාර

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
2

නව ආධ්‍යාත්මික ලිපි
සඳහා ලියාපදිංචි වන්න

ඔබේ ආධ්‍යාත්මික ගමනට සහාය වන නව ඉගැන්වීම්, චින්තනය පුළුල් කිරීම සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා නවතම බ්ලොග් ලිපි පළවූ සැණින් ඒ පිළිබඳව දැනුවත් වීමට අප සමග එකතු වන්න.

2

ඔබ කැමති විය හැකි වෙනත් ලිපි!

253

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා, මාරයා පිළිබඳ ඉගැන්වීම්

මාරයා තෙවැනි ඇස වසාදමන ආකාරය

භාවනාවේදී හමුවන මාරයාගේ බාධා සහ අඳුරු වලාවන් හඳුනාගන්නේ කෙසේද? තෙවැනි ඇස ආරක්ෂා කරගනිමින් ආධ්‍යාත්මික ගමන ඉදිරියට යන ආකාරය ඉගෙන ගන්න....

255

නිරතුරුවම සිහියෙන් සිටීම, සතර සතිපට්ඨානය: ප්‍රායෝගික භාවනා

සිත දෙස සිහියෙන් බැලීම | ප්‍රායෝගික පුහුණුව 01 | සතර සතිපට්ඨානය

සිත දෙස සිහියෙන් බැලීම තුළින් ඔබේ එදිනෙදා ජීවිතයේ සාමය සහ පැහැදිලි බව වර්ධනය කරගන්නා ආකාරය මෙම ප්‍රායෝගික භාවනා ලිපියෙන් ඉගෙන ගන්න....

256

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

දැනුම සහ ප්‍රඥාව ප්‍රායෝගිකව තෝරාගමු !

දැනුම සහ ප්‍රඥාව අතර වෙනස කුමක්ද? මෙම ලිපියෙන් ආධ්‍යාත්මික දියුණුවට පොතේ දැනුම නොව, ප්‍රායෝගික පුහුණුව අත්‍යවශ්‍ය වන්නේ ඇයි දැයි සොයා බලන්න....

257

විශ්වයෙන් පැමිණි නියෝජිතයින්

සියලු දේ අත්හරින්න... විශ්ව නියෝජිතයෙක් වීමට...

ඔබත් විශ්ව නියෝජිත, දියසෙන් හෝ රාවණා යැයි සිතනවාද? මෙම ආධ්‍යාත්මික මායාවෙන් මිදී ලෞකික ප්‍රඥාව අවදි කරගන්නා ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න....

You cannot copy content of this page

නව ආධ්‍යාත්මික ලිපි
සඳහා ලියාපදිංචි වන්න

ඔබේ ආධ්‍යාත්මික ගමනට සහාය වන නව ඉගැන්වීම්, චින්තනය පුළුල් කිරීම සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා නවතම බ්ලොග් ලිපි පළවූ සැණින් ඒ පිළිබඳව දැනුවත් වීමට අප සමග එකතු වන්න.

0
Would love your thoughts, please comment.x
()
x