අද අපගේ මෙම ලිපිය ඔස්සේ, තෙවැනි ඇස හෙවත් දිබ්බ චක්ඛුමය ඥානය (පියවි ඇසට නොපෙනෙන දේ දැකීමේ හැකියාව) ලබා ගැනීම සඳහා වන ප්‍රායෝගික භාවනා වැඩසටහන් යටතේ, අසුභ භාවනාව ඔස්සේ එම අත්දැකීම ලබාගන්නා ආකාරය පිළිබඳව ප්‍රායෝගික කරුණු විග්‍රහයක් ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
මෙම ලිපියේ සඳහන් කරන අත්දැකීම්, මෙවැනි භාවනා ක්‍රම අත්හදා බැලූ සහ ප්‍රායෝගිකව යෙදුණු ඔබට දැනටමත් ලැබී ඇති. ඒ වගේම, යම් අයෙක් මෙම භාවනාව පුහුණු වීමට අදහස් කරගෙන සිටිනවා නම්, මේ කියන අත්දැකීම් ලැබීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබෙනවා.
නමුත් මෙය සැමටම පොදු දෙයක් නොවන බව මතක තබාගත යුතුයි; සමහරුන්ට ලැබෙන්නට පුළුවන්, තවත් සමහරුන්ට නොලැබෙන්නට පුළුවන්. මෙම ලිපිය කියවන විට, ඔබටත් මෙවැනි අත්දැකීම් ලැබී ඇත්නම්, ‘මා ගමන් කරන මාර්ගය නිවැරදියි’ යන අවබෝධය ඔබ තුළ ඇතිවනු ඇත.
මීට පෙර අප ආනාපානසති, ධ්‍යාන ක්‍රම, බුද්ධානුස්සති සහ කසින භාවනා වැනි විවිධ ක්‍රම ඔස්සේ තෙවැනි ඇස අවදි කරගන්නා ආකාරය, ආධ්‍යාත්මික හැකියාවන් කරා යන මග, එහිදී ලැබෙන අත්දැකීම් සහ මුහුණ දීමට සිදුවන දේවල් පිළිබඳව එකින් එක විග්‍රහ කර තිබෙනවා. මෙම ලිපි කියවූ ඔබට දැන් ඕනෑම කෙනෙකුට තමන්ට ගැළපෙන ක්‍රමයකින් මෙම ගමන යා හැකි බව වැටහෙනවා ඇති. ඔබ එම ලිපි කියවා නැත්නම්, ඒවාද කියවා බලන ලෙස ආරාධනා කරනවා.

අසුභ භාවනාව යනු කුමක්ද? එය ප්‍රගුණ කළ යුත්තේ කවුරුන්ද?
පළමුව, අසුභ භාවනාව යනු කුමක්දැයි අප තේරුම් ගත යුතුයි. මීට වසර දෙදහස් පන්සීයකට පෙර අප ගෞතම බුදුරජාණන් වහන්සේ ත්‍රිපිටකයේ දේශනා කළේ, අධික රාගයෙන් පෙළෙන චරිත සඳහා මෙම අසුභ භාවනාව වඩාත් සුදුසු බවයි. මෙයින් අදහස් කරන්නේ හැමෝම මෙය කළ යුතු බවද? නැහැ.
සියලු දෙනාම අසුභ භාවනාව ප්‍රගුණ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. එනමුත්, අසුභ භාවනාව තුළින්ද සිත එකඟ කරගැනීමට (සමාධිගත කිරීමට), ධ්‍යාන මට්ටම් වලට පැමිණීමට සහ අෂ්ට සමාපත්ති දක්වා වුවද ගමන් කිරීමට හැකියාව තිබෙනවා.
බුදුරදුන් මෙම භාවනාව විශේෂයෙන්ම දේශනා කළේ අධික රාගය සහිත පුද්ගලයන්ටයි. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව, භාවනා කිරීමට උත්සාහ කරන විට රාගය පාලනය කරගත නොහැකි අය සිටිනවා. රාගය සම්බන්ධයෙන් ඇතිවන ගැටලු පිළිබඳව මීට පෙරත් බොහෝ දෙනෙක් මා වෙත දන්වා තිබෙනවා. එම ගැටලුවලට පිළියම් ලෙස සිහිය පැවැත්වීම පිළිබඳ දේශනා මාලා උපකාරී වන අයුරු මම පැහැදිලි කර දී තිබෙනවා.
අසුභ භාවනාව සමථ පැත්ත, එනම් සිත සන්සුන් කිරීමේ පැත්ත, දියුණු කරනවා සේම, අපගේ ආධ්‍යාත්මික ගමනේ විදර්ශනා, එනම් යථාර්ථය දැකීමේ, පැත්ත දියුණු කරගැනීමටත් විශාල උපකාරයක් වෙනවා. එම නිසා, අධික රාග චරිතයක් ඇති අයෙකුට මෙය ප්‍රගුණ කිරීමේ කිසිදු වරදක් නැහැ.

විවිධ ක්‍රම සහ පොදු අත්දැකීම්
අසුභ භාවනාව විවිධ ආකාරයෙන් ප්‍රගුණ කළ හැකියි. ඒ පිළිබඳව ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා, පොත්පත් ලියා තිබෙනවා, මෙන්ම අන්තර්ජාලයේද ලිපි රාශියක් තිබෙනවා. මම මෙහිදී එක් ප්‍රායෝගික ක්‍රමයක් කියා දෙනවා. ඊට අමතරව, ඔබට කැමති වෙනත් ක්‍රමයක් අනුගමනය කිරීමටද නිදහස තිබෙනවා.
නමුත් වැදගත් දෙය නම්, ඔබ කුමන ක්‍රමයක් අනුගමනය කළත්, මෙම ලිපියේ මා ඉදිරියේදී සඳහන් කරන අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවන බවයි. භාවනාව නිවැරදිව ප්‍රගුණ කරද්දී, එය ‘අල්ලලා යන’ අයට මෙම අත්දැකීම් පොදුයි. ඇත්තෙන්ම, එක් එක් පුද්ගලයාට ගැළපෙන විශේෂිත භාවනා ක්‍රම තිබෙනවා. ඔබට වඩාත්ම රුචිකත්වයක් දක්වන ක්‍රමය තෝරාගත හැකියි. මෙම ලිපියෙන් මා අවධානය යොමු කරන්නේ, අසුභ භාවනාව කෙරෙහි රුචියක් දක්වන සහ අධික රාග චරිතයක් ඇති අයට ලැබෙන අත්දැකීම් පිළිබඳවයි.

රාගයේ ස්වභාවය සහ එයින් මිදීමට ඇති අවශ්‍යතාවය
මා සඳහන් කළා අධික රාග චරිතයක් ගැන. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම රාගය අඩු වැඩි වශයෙන් පවතිනවා. රාගය සම්පූර්ණයෙන්ම නැති කෙනෙක් නම්, ඔහු හෝ ඇය මේ වන විට අරිහත්වය, නිර්වාණය හෝ අඩුම තරමින් අනාගාමී ඵලය වැනි මාර්ග ඵලයකට පැමිණ සිටිය යුතුයි. එසේත් නැතිනම්, ප්‍රබල ධ්‍යානයක් හෝ සමාධියක් ප්‍රගුණ කර තිබිය යුතුයි.
සමහර චරිත ස්වභාවයෙන්ම කාමයට ඇල්මක් නොදක්වයි. උදාහරණයක් ලෙස, බ්‍රහ්ම ලෝකවල ඉපිද, එහි ආයුෂ අවසන් වී මනුෂ්‍ය ලොව උපත ලැබූ අය, හුදෙකලාව, සරල ජීවිතයක් ගත කිරීමට කැමතියි. නමුත්, එවැනි කෙනෙක් වුවද කාමයන්ට ලොල් වුවහොත්, එහි ආස්වාදයත් ආදීනවත් නොනවත්වා විඳිමින් විනාශයට පත්වන අවස්ථා අප දැක තිබෙනවා. ජාතක කතා පොත් කියවීමෙන්, බ්‍රහ්මලෝකයෙන් චුතව පැමිණි අප මහා බෝධිසත්වයන් වහන්සේ පවා, කාන්තාවන් ඇසුරට පෙළඹීමෙන් පසු මුහුණ දුන් විනාශයන් ගැන ඔබට දැනගත හැකියි.
වර්තමානයේ බොහෝ දෙනා අධික රාගයෙන් පීඩා විඳිනවා. දවසට කිහිප වරක් ස්වයං වින්දනයේ යෙදීම, සහකරු හෝ සහකාරිය සමග නිරන්තරයෙන් කාමයේ යෙදීම, එයින්ද නොනැවතී වෙනත් සබඳතා පැවැත්වීම දක්වා මෙම තත්ත්වය උග්‍ර විය හැකියි. සමහර තරුණ අය දිනකට පස් හය වතාවක් ස්වයං වින්දනයේ යෙදෙන බව පවසනවා. ඇතැම් අය, අන්තර්ජාලයේ දකින නිල් චිත්‍රපට වැනි දේවලින් පෙළඹී විවිධ මානසික විකෘතිතා වලට යොමු වන බවත්, එයින් මිදීමට අවශ්‍ය බවත් නිරන්තරයෙන් අප වෙත දන්වා එවනවා.
පාසල් දරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, රැකියා කරන අය ඇතුළු බොහෝ දෙනෙකුට මෙය පාලනය කරගත නොහැකිව විශාල හිසරදයක් වී තිබෙනවා. ඔවුන් පවසන්නේ උපරිම දින තුනක් හෝ සතියක් පමණක් මෙයින් වැළකී සිටිය හැකි බවයි. මේ සියලු දෙනාටම පාහේ මෙයින් මිදීමට අවංක අවශ්‍යතාවයක් තිබෙනවා.

අසුභ භාවනාව සැමටම විවෘත මගක්
මෙම අසුභ භාවනාව ඒ සියලු ගැටලුවලට පිළිතුරක් වේවි. මෙය තෙවැනි ඇස වැනි අධිමානසික හැකියාවකට මගක් වුවත්, විදර්ශනා භාවනා කරන, එනම් සිහිය පුහුණු කරන කෙනෙකුටද රාගය යටපත් කර ගැනීමට ඉතාමත් වැදගත් වෙනවා. එමගින් සිහිය වඩාත් හොඳින් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.
ඒ වගේම, සමථ භාවනා, ධ්‍යාන සහ වෙනත් ආධ්‍යාත්මික හැකියාවන් ප්‍රගුණ කිරීමට බලාපොරොත්තු වන අයටත් අසුභ භාවනාව අත්‍යවශ්‍යයි. එබැවින්, වයස්, ජාති, කුල, ආගම්, සුදු-කළු, දුප්පත්-පොහොසත් යන කිසිදු භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට මෙය ප්‍රගුණ කිරීමේ අයිතිය හා හැකියාව තිබෙනවා.
භාවනාව ආරම්භයේදී රාගය වැඩිවීම: බිය විය යුතුද?
අධික රාගයක් ඇති ඔබ අසුභ භාවනාව ආරම්භ කරන විට මුලින්ම ලැබෙන අත්දැකීමක් ගැන මම දැන් කියන්නම්. මෛත්‍රී භාවනාවේදී මෙන්, අසුභ භාවනාව වඩන්නට පටන් ගත් මුල් කාලයේදී සමහරුන්ගේ රාගය තවත් වැඩි වෙන්නට පුළුවන්. මෙය සාමාන්‍ය ස්වභාවයක්. මන්ද, අපි මෙහිදී කරන්නේ ‘සුබයි’ (ලස්සනයි, හැඩයි, ආකර්ෂණීයයි) කියා අපේ මනස පුරුදු වී ඇති සංඥාව, ‘අසුබයි’ (පිළිකුලයි) යන සංඥාවට පරිවර්තනය කිරීමටයි. එම සංඥාව වෙනස් කිරීමට උත්සාහ දරන විට, පැරණි සංඥාව තාවකාලිකව වඩාත් ප්‍රබල ලෙස ඉස්මතු වීමක් සිදුවෙනවා.
වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට, තරුණ, මහලු, මැදිවියේ වේවා, භාවනාව ආරම්භයේදී රාගය එකවර වැඩිවිය හැකියි. මෙය සැමටම පොදු නැහැ, සමහරුන්ට වෙනවා, සමහරුන්ට වෙන්නේ නැහැ. බොහෝ අය මේ අවස්ථාවේදී, “මට අසුභය හරියන්නේ නෑ, මගේ රාගය තවත් වැඩිවුණා” යැයි සිතා භාවනාව නතර කර දමනවා. නිවැරදි ගුරුවරයෙකුගේ මගපෙන්වීමක් නොමැතිව, ඔවුන් අසරණ වී භාවනාව අත්හැර දමන අවස්ථා අප දැක තිබෙනවා.
මෙම සිදුවීම මෛත්‍රී භාවනාවේදීත් දකින්නට පුළුවන්. තමන් වෛර කරන අයට මෛත්‍රී වඩන විට, මුල් කාලයේදී ද්වේශය අධික ලෙස වැඩිවෙන්න පුළුවන්. එය හිතේ ස්වභාවයක්. මේ සිතුවිල්ල අනිත් පැත්තට හැරවීමට උත්සාහ කරන විට ඇතිවන ප්‍රතික්‍රියාවක්. යම් කෙනෙක් මෙය ‘සිතේ ස්වභාවයක්’ ලෙස තේරුම් ගන්නේ නම්, ඔහුට හෝ ඇයට ඒ ගැන ලොකුවට නොසිතා, උපේක්ෂාවෙන් යුතුව, මධ්‍යස්ථව භාවනාව ඉදිරියට කරගෙන යා හැකියි. එබැවින්, අසුභ භාවනාව වඩද්දී රාගය වැඩි වුවත් නැතත්, නොනවත්වා දිගටම එය ප්‍රගුණ කළ යුතුයි.

අසුභ භාවනාව ප්‍රායෝගිකව වඩන ආකාරය: පියවරෙන් පියවර මග පෙන්වීමක්
දැන් මම මගේ ක්‍රමයට අසුභ භාවනාව ප්‍රගුණ කරන ආකාරය ප්‍රායෝගිකවම කියා දෙන්නම්. මතක තබා ගන්න, සියලු ගංගා මුහුදට ගලා බසින්නා සේ, ඔබ කුමන ක්‍රමයකින් අසුභ භාවනාව ආරම්භ කළත්, අවසානයේ මුහුණ දෙන්නේ එකම අත්දැකීම් සමුදායකටයි. විභාගයට පාඩම් කරන විට තමන්ටම ආවේණික ක්‍රමයක් ඇතිවා සේ, භාවනාවේදීත් ඔබට වඩාත්ම පහසු, හිතට අල්ලන ක්‍රමය තෝරාගැනීමේ වරදක් නැහැ. යම් ක්‍රමයක් තෝරාගත්තේ නම්, එය මාස තුනකට නොඅඩු කාලයක් අත්හදා බලන්න. එවිට ඔබටම එහි ප්‍රතිඵල තේරුම් ගත හැකියි.
1. සූදානම් වීම
සුපුරුදු පරිදි ඔබේ භාවනා ආසනයට යන්න. එය ඇඳ මත, බිම, හෝ කොන්දේ ආබාධ ඇත්නම් පුටුවක වුවද විය හැකියි. නිදහස්, පිරිසිදු ස්ථානයක් තෝරාගන්න. බද්ධ පර්‍යංකයෙන් (සමපලස්ව), පද්මාසනයෙන් හෝ ඔබට පහසු ඉරියව්වකින් වාඩිවන්න. අඟලක පමණ කුෂන් එකක් භාවිතා කිරීමෙන් පහසුව වැඩි කරගත හැකියි. කොන්ද සෘජුව තබාගෙන, බිත්තියට හේත්තු නොවී සිටීමට උත්සාහ කරන්න. අපහසු නම් පමණක් හේත්තු වන්න.
2. අධිෂ්ඨානය සහ මූලික මෙනෙහි කිරීම
ඇස් දෙක වසාගෙන, “මම දැන් අසුභ භාවනාව වඩමි” යි සිතින් අධිෂ්ඨාන කරගන්න.
3. තමන්ගේ ශරීරය මෙනෙහි කිරීම
පළමුව, තමන්ගේ ශරීරයම මෙනෙහි කරන්න. රුවන්වැලි සෑය ගැන සිතූ සැනින් එහි රූපයක් හිතේ මැවෙනවා සේ, ඔබේ ශරීරයේ රූපයද සිතින් මවාගන්න. මෙය පියවි ඇසට පෙනීමක් නොව, මනෝමය රූපයක්. (දැනටමත් තෙවැනි ඇස අවදි වූ කෙනෙකුට නම් මෙය වඩාත් පැහැදිලිව, චිත්ත රූපයක් ලෙස පෙනෙනු ඇත).
4. ශරීර කොටස් වෙන් කර බැලීම (දෙතිස් කුණප මෙනෙහි කිරීම)
අපේ ශරීරය කොටස් 32කින් සමන්විත බව බුදු දහමේ උගන්වනවා. ඒවා දෙතිස් කුණප ලෙස හඳුන්වයි (කේසා – කෙස්, ලෝමා – ලොම්, නඛා – නිය, දන්තා – දත් ආදී වශයෙන්). මේවා ගැන අන්තර්ජාලයෙන් හෝ පොතපතින් කියවා මූලික අවබෝධයක් ලබාගන්න. අවශ්‍ය නම්, වෛද්‍ය විද්‍යාවට අදාළ ශරීර කොටස් කපා පෙන්වන වීඩියෝ හෝ මෘත ශරීර එම්බාම් කරන වීඩියෝ නැරඹීමෙන් වුවද මෙම පිළිකුල් සහගත ස්වභාවය මනසට ඇතුළත් කරගත හැකියි. එහි වරදක් නැහැ.
- කෙස් (කේසා): සිතින් මවාගත් ඔබේ රූපයේ කෙස් කළඹ දෙස බලන්න. ඉන්පසු, කතුරකින් හෝ දැලි පිහියකින් ඒ සියල්ල කපා දමන අයුරු මවාගන්න. ඉතිරිවන්නේ තට්ට හිසක්. එම කපන ලද කෙස් ගොඩ දෙස බලන්න. ඔබට රාගය ඇතිවන්නේ මේ කෙස් ගොඩටද? ‘මම’ කියා කියන්නේ මේ කෙස් ගොඩටද? යැයි සිතන්න.
- ලොම් (ලෝමා): ඒ ආකාරයෙන්ම ශරීරයේ ඇති සියලුම ලොම් කපා එක ගොඩකට දමන්න. ඒ දෙස බලන්න.
- සම (හම): පිහියකින් හෝ පොරවකින්, හරියට සතෙකුගේ හමක් ගලවන්නා සේ, ඔබේ ශරීරයේ සම සම්පූර්ණයෙන්ම ගලවා පැත්තකින් තබන්න. දැන් ඉතිරිව ඇත්තේ ලේ, මස් නහරවලින් පිරුණු ශරීරයයි. ගලවන ලද සම දෙස බලා සිතන්න, “මට රාගය ඇතිවන්නේ මේ සමටද? ‘මම’ යනු මේ සමද?”
- අනෙකුත් කොටස්: මේ ආකාරයටම, ඇස් දෙක ගලවා, මොළය, දත්, දිව, හදවත, වකුගඩු, අක්මාව, බඩවැල්, ජීර්ණය නොවූ ආහාර, අසූචි ආදී සියල්ල එකිනෙක ගලවා, කපා වෙන් වෙන්ව ගොඩ ගසන අයුරු මෙනෙහි කරන්න. ඒ සඳහා පොරවක් හෝ චේන් සෝවක් වැනි උපකරණයක් වුවද මනසින් මවාගත හැකියි.
මේ සියලු කොටස් වෙන් වෙන්ව ගොඩගසා ඇති විට, ඔබට එහි ‘මම’ කියා හෝ ‘ලස්සන’ කියා ගැනීමට යමක් ඉතිරිව තිබේදැයි බලන්න. මෙහිදී අනත්ත හෙවත් ‘තමා’ කියා ස්ථිර දෙයක් නොමැති බවට සියුම් සංඥාවක්ද මනසේ ගොඩනැගෙනු ඇත.
5. භාවනා වචන මෙනෙහි කිරීම
මෙලෙස ශරීර කොටස් දෙස බලන අතරතුර, නිරන්තරයෙන් මෙසේ මෙනෙහි කරන්න: “අසුභයි, අසාරයි, දුර්ගන්ධයි, දුර්වර්ණයි, පිළිකුලයි.” මෙම වචන ටික නැවත නැවත මෙනෙහි කිරීමෙන් සිතේ ඒකාග්‍රතාවය තව තවත් වැඩි වේ.

අධික රාගය සඳහා විශේෂ අභ්‍යාසය
තමන්ගේ ශරීරය මෙනෙහි කිරීමෙන් පමණක් රාගය පාලනය නොවන අයට, ඊළඟ පියවරට යා හැකියි. ඔබ වඩාත්ම කැමති, ඔබට රාගය අවුස්සන විරුද්ධ ලිංගික පුද්ගලයාව (ඔබ පුරුෂයෙක් නම් කාන්තාවක්, කාන්තාවක් නම් පුරුෂයෙක්) සිතින් මවාගන්න. ඉන්පසු, ඉහත විස්තර කළ ආකාරයටම, ඔහුගේ හෝ ඇයගේ ශරීරයද කොටස් වලට කපා, වෙන් කර, එහි පිළිකුල් සහගත බව මෙනෙහි කරන්න.
අවවාදයයි: මෙම අභ්‍යාසය ආරම්භයේදී, ඔබේ රාගය පෙරටත් වඩා අධික ලෙස වැඩිවීමට ඉඩ තිබේ. එම රූපය මෙනෙහි කරන විටම ලිංගික හැඟීම් මතුවීමට, ස්වයං වින්දනයේ යෙදීමට සිතෙන්නට පුළුවන්. මෙයද සිතේ ස්වභාවයයි. සංසාරයේ අප මෙතරම් කල් ගමන් කරන්නේද මේ බැඳීම නිසාය. එය තේරුම් ගෙන, බිය නොවී, නොසැලී, දිගටම භාවනාව ප්‍රගුණ කරන්න.
කොතරම් රාගය වැඩි වුවත්, නොනවත්වා ශරීර කොටස් දෙස බලා එහි පිළිකුල් බව මෙනෙහි කරන්න. කාලයක් යනවිට, ‘සුබ’ යැයි ගත් සංඥාව ‘අසුබ’ බවට පෙරළී, රාගය අනිවාර්යයෙන්ම අඩු වන දවසක් පැමිණෙනු ඇත.

භාවනාව දියුණු වීමේදී ලැබෙන අත්දැකීම් සහ සළකුණු
මෙම අසුභ භාවනාව කාලයක් තිස්සේ ප්‍රගුණ කරගෙන යන විට, ඔබට විවිධ අත්දැකීම් ලැබෙන්නට පුළුවන්. මේවා ඔබගේ ප්‍රගතියේ සලකුණුයි.
වැදගත්: මෙම අත්දැකීම් (නළල තදවීම, ආලෝකය, චිත්ත රූප, තෙවැනි ඇස) සැමටම ලැබෙන්නේ නැත. එසේම, සැමටම එකම පිළිවෙලකට ලැබෙන්නේද නැත. මෙම අත්දැකීම් ලැබුණත් නැතත්, ඔබේ ප්‍රධාන අරමුණ රාගය යටපත් කර ගැනීම නම්, එය ඉටුවන තුරු අසුභ භාවනාව නොකඩවා ප්‍රගුණ කරන්න.

රාගය යටපත් වූ පසු ඉදිරි පියවර කුමක්ද?
අසුභ භාවනාව යනු අපේ ගමනට අවශ්‍ය එක්තරා වාහනයක් වැනි දෙයකි. ගමනාන්තයට යාමට නම්, අතරමගදී සුදුසු තැනදී එම බසයෙන් බැස වෙනත් බසයකට නැගිය යුතුය. ඒ ආකාරයටම, ඔබගේ රාගය, භාවනාවට බාධාවක් නොවන මට්ටමට හොඳින්ම යටපත් වූ පසු, අසුභ භාවනාව අත්හැර ඊළඟ භාවනා ක්‍රමයට මාරු වීමේ හැකියාව තිබෙනවා.
ඔබට ආලෝක සංඥා පෙනෙන අවස්ථාවේදී හෝ චිත්ත රූප පෙනෙන අවස්ථාවේදී හෝ තෙවැනි ඇස අවදි වූ පසුව වුවද, ඔබේ රාගය තවමත් ප්‍රබලව පවතී නම්, දිගටම අසුභ භාවනාව ප්‍රගුණ කරන්න. නමුත්, රාගය හොඳින්ම යටපත් වෙලා නම්, ඔබට පුළුවන් ආනාපානසතිය, කසින භාවනාවක්, හෝ ධ්‍යාන වැඩීම සඳහා වන භාවනා ක්‍රමයක් ආරම්භ කරන්න.
මාරු වන ආකාරය:
- දවසට පැයක් අසුභ භාවනාව කළා නම්, එය විනාඩි 45, 30 ආදී වශයෙන් ක්‍රමයෙන් අඩු කර, ඒ ඉතිරි කාලයේදී නව භාවනාව ආරම්භ කරන්න.
- නැතහොත්, රාගය හොඳින්ම පාලනය වී ඇත්නම්, එකවරම අසුභ භාවනාව නවත්වා, නව භාවනාව පූර්ණ කාලීනව ආරම්භ කිරීමේ වරදක්ද නැත.
කාලයක් ගොස්, ධ්‍යාන හෝ අධිමානසික හැකියාවන් ලැබී තිබියදීත්, ඔබට නැවත රාගය මතුවුවහොත්, තාවකාලිකව නැවතත් අසුභ භාවනාව දින කිහිපයක් හෝ සති කිහිපයක් ප්‍රගුණ කර, රාගය යටපත් වූ පසු නැවත ඔබගේ ප්‍රධාන භාවනාවට යොමු විය හැකියි.

ප්‍රායෝගික ජීවිතයට බලපෑම් සහ අවසාන උපදෙස්
අසුභ භාවනාව ප්‍රගුණ කරන විට, ඔබේ ප්‍රායෝගික ජීවිතයේද යම් වෙනස්කම් සිදුවිය හැකියි.
මෙම භාවනාව දවසට දෙවරක් (උදේ සහ සවස පැය බැගින්) හෝ අඩුම තරමින් විනාඩි 15ක් වත් ප්‍රගුණ කිරීමට උත්සාහ කරන්න. නිවාඩු දිනවල වැඩි වේලාවක් යොදවන්න. මෙසේ කරගෙන යනවිට, නිල් චිත්‍රපට, රාගික දර්ශන නැරඹීමට තිබූ ආශාව ක්‍රමයෙන් පහව යන බව ඔබටම අත්දැකීමෙන් වැටහේවි.
මෙම ලිපියෙන් අසුභ භාවනාව පිළිබඳවත්, ඒ ඔස්සේ තෙවැනි ඇස විවෘත කරගන්නා ආකාරය පිළිබඳවත් ඔබට පුළුල් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මම විශ්වාස කරනවා. මෙම කරුණු මැනවින් වටහාගෙන, ප්‍රායෝගිකව භාවනාවෙහි යෙදී, ඔබගේ ආධ්‍යාත්මික ගමන සාර්ථක කරගැනීමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා!
මේ උතුම් මඟෙහි අප සමඟ එක්ව ගමන් කිරීමට ඔබටත් අපි ආරාධනා කරමු. අපගේ ඉගැන්වීම් කියවා, සියල්ලටම වඩා වැදගත් ලෙස, ඒවා ඔබගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්න. ඔබ ලබන අත්දැකීම් සහ ඔබට ඇතිවන ගැටළු, අපගේ ලිපියට පහළින් ඇති අදහස් තීරුවේ සටහන් කරන ලෙස අපි ඔබව දිරිමත් කරන්නෙමු. ඔබ අසන ප්‍රශ්න, ඔබගේ අවශ්‍යතාවලටම ගැලපෙන ලෙස ඉදිරි ලිපි සහ වීඩියෝ සකස් කිරීමට අපට මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම, වෙබ් අඩවියේ ඇති ‘Contact Us‘ පෝරමය හරහා ද ඔබට අප හා සම්බන්ධ විය හැකිය.
අපගේ මෙම උත්සාහය, ඔබ තුළ සැඟවී ඇති ආධ්‍යාත්මික බීජය, එනම් සමාධිය, ධ්‍යාන සහ අභිඥා වැනි ගුණාංග පෝෂණය කිරීමයි.
අප සමඟ එක් වූ ඔබට ස්තූතියි. මෙම වෙබ් අඩවිය ඔබගේ අධ්‍යාත්මික ගමනට මහත් ශක්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!
