අදත්, වෙනදා වගේම, සමථ විදර්ශනා අධ්‍යාත්මික ජීවිතය ගවේෂණය කරන, සිත ගැන අධ්‍යයනය කරමින් සිහිය පැවැත්වීමේ මාවතේ ගමන් කරන ඔබට, සිතේ තවත් එක් පැතිකඩක් ගැන ගැඹුරින් කතා කරන්නටයි මේ සූදානම. අප ප්‍රායෝගිකව සිත පුහුණු කරද්දී, සිතට සිහිය යොමු කර එහි පවතින දේවල් එකින් එක දකින්නට පුරුදු වෙද්දී, අපේ සිතුවිලිවල සැබෑ ස්වභාවය අපට වැටහෙන්නට පටන් ගන්නවා. මීට පෙර ලිපියකිනුත් අප සාකච්ඡා කළ පරිදි, “සිතුවිලි ඔබ තේරුම් ගත්තොත්, නැවත එම සිතුවිලි ඔබට වද දෙන්නේ නෑ” යන කාරණය, මේ වන විටත් ප්‍රායෝගිකව පුහුණු වී ප්‍රතිඵල ලැබූ ඔබට මෙන්ම, පුහුණු වෙමින් සිටින ඔබටත් යම්තාක් දුරට අවබෝධ වී ඇති බව නිසැකයි.

සිතේ ස්වභාව තුන: ඇලීම, ගැටීම සහ මධ්‍යස්ථ බව
සිතුවිලි තේරුම් ගත් කෙනාට සිදුවන දෙය කුමක්ද? අපේ සිත අධ්‍යයනය කරද්දී අපට නිරන්තරයෙන්ම පොදු ලක්ෂණ දෙකක් හමුවෙනවා. ඒ තමයි සිතේ ඇලීම සහ ගැටීම. නමුත්, සමහර අවස්ථාවලදී සිත ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව මධ්‍යස්ථව පවතිනවා.
මෙන්න මේ ආකාර තුනම අපේ සිත තුළ ක්‍රියාත්මක වන බව ඔබටත් ප්‍රායෝගිකව අත්දකින්නට ලැබී ඇති. සමහර සිතුවිලි කිසිදු ඇලීමක් හෝ ගැටීමක් ඇති නොකර, මතක් වෙලා, ඇවිල්ලා, නිකන්ම යනවා. බුදු දහමේ එන උප්පාද, ඨිති, භංග (හටගැනීම, පැවතීම, නැතිවීම) යන අවස්ථා තුනට අනුව, එම සිතුවිල්ල හටගත්තත්, එය අපට වද දෙමින් දිගු වේලාවක් රඳා පවතින්නේ නැහැ. එය ස්වභාවිකවම පැමිණි අයුරින්ම නැතිවී යනවා.
ඔබ ළඟත් මෙවැනි සිතුවිලි තිබෙනවා නේද? ඒ සිතුවිලි ඔබට මේ වනතුරු කිසිම ආකාරයක වදයක්, කරදරයක්, හිංසාවක් වෙලා තියෙනවද? නෑ. ඒ වගේම, ඒවා ඔබව මානසිකව වට්ටලා, ඇලීමකට ලක් කරලා, හෝ කෝපයක් ඇති කරලත් නෑ. කිසිවක් සිදුවෙලා නෑ.
අපේ සිත නිරන්තරයෙන්ම මෙවැනි ස්වභාවයකින් පවතින්නේ නම්, අපි තමයි මානසික සුවය උපරිමයෙන්ම විඳින අය. මෙසේ ඇලෙන්නෙත් නැති, ගැටෙන්නෙත් නැති උසස්ම මට්ටමක සිටින උතුමන්ව බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා ලෙස හඳුන්වනවා. එතැනින් පහළ මට්ටම්වල, එනම් සිතේ මේ ස්වභාවය ටිකෙන් ටික වර්ධනය කරගත් මාර්ගඵලලාභීන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී ලෙස හැඳින්වෙනවා.

සැබෑ මානසික නිදහස සහ ලෞකික සතුට අතර වෙනස
අප නිතරම දේශනාවලදී කියන දෙයක් තමයි, මාර්ගඵල කියන වචන ගැනවත්, ඒ මට්ටම් ගැනවත් හොයන්නට එපා කියන එක. අපට අවශ්‍ය වන්නේ අපේ සිත මෙවැනි මධ්‍යස්ථ මට්ටමකට ගෙන ඒමයි. සාමාන්‍ය පෘථග්ජන මනස නිතරම කරන්නේ ඇලෙන එකයි, ගැටෙන එකයි.
ඒ අතරතුර, මධ්‍යස්ථව, එනම් බුදු දහමේදී හඳුන්වන උපේක්ෂක ස්වභාවයෙන් පවතින අවස්ථාත් තිබුණත්, වැඩිපුරම සිදුවන්නේ ඇලීම සහ ගැටීමයි. මෙන්න මේ ඇලීමෙන් සහ ගැටීමෙන් මිදෙන්නට පුළුවන් නම්, අපට පුදුමාකාර “මානසික නිදහසක්” ලැබෙනවා. ඒ නිදහස ලැබුණාම, එය කොතරම් සුවයක්ද, කොතරම් සැහැල්ලුවක්ද කියා ඔබටම වැටහේවි.
නමුත් ඒ මානසික නිදහස ලබාගන්නට නම්, තමන් විසින්ම තමන්ගේ සිත ගැන අධ්‍යයනය කරලා, එය තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. වෙනත් ක්‍රමයකින් එය ලබාගන්නට බැහැ. ඇත්තෙන්ම, මේ සඳහා ලෞකික විකල්ප තිබෙනවා. මම අපේ දේශනාවලදී නිතරම සඳහන් කරන වචනයක් තමයි “ලෞකික කාමය”. විනෝද ගමන් යාම, සමාජ ශාලාවලට යාම, මිතුරන් සමඟ එකතු වී විවිධ දේ කතා කිරීම වැනි දේවලින් අපි තාවකාලික සතුටක් ලබනවා.
නමුත් ඒ සතුට අපේ මනසේ දිගටම රඳා පවතින්නේ නෑ. එය වරින් වර එනවා, යනවා. ඒ වගේම, නිතරම ඒ සතුට විඳින්නට ගියාම, එහි අගය අඩු වෙලා, එය ළාබාල දෙයක් බවට පත්වෙලා යනවා. අනෙක් අතට, ලෞකික ජීවිතයේ යම් කාරණාවක් සම්බන්ධයෙන් අපට දැඩි කෝපයක් හෝ ද්වේශයක් ඇති වුණොත්, එය අපේ සිතට ඇවිත් නැවත නැවතත් වද දෙන තත්ත්වයට පත් වෙනවා. එවිට අපේ මානසික නිදහස සම්පූර්ණයෙන්ම නැති වී, මනස අසහනයට පත් වෙනවා.
ඒ නිසා, අප කළ යුත්තේ අධ්‍යාත්මික මාර්ගය තුළින් අපේ සිත ඇතුළෙන්ම අපේ නිදහස, සතුට සහ සැනසීම සොයා ගැනීමයි. අපි බොහෝ විට “ඔයා ළඟ තමයි මගේ සැනසීම තියෙන්නේ” කියා ආදරය, රාගය වැනි විවිධ වේශයෙන් වෙනත් පුද්ගලයන්ගෙන්, දේවල්වලින් හෝ ස්ථානවලින් සැනසීම සොයන්නට උත්සාහ කරනවා.
නමුත් මේ අධ්‍යාත්මික ගමනේදී, විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතර සතිපට්ඨානය, එනම් විදර්ශනාව පුරුදු කරන කෙනාට, සැබෑ සැනසීම තමන් තුළම පවතින බව හොඳින්ම තේරුම් යනවා. නිර්වාණය දක්වා යන ගමනේදී, එනම් අරිහත්වය දක්වා යන ගමනේදී, ඔහු ලෞකික දේවල් වින්දනය කළත්, ඒ විඳීම තාවකාලික බවත්, ඊට වඩා උසස්, ස්ථිර සැනසීමක් ලබාගත හැකි මාර්ගයක් ඇති බවත් ඔහුට නිරන්තරයෙන් සිහිපත් වෙනවා. මෙයයි මේ මාර්ගයේ ගමන් කරන අයගේ විශේෂත්වය.

සිහිය පුහුණු කරන්නාගේ අත්දැකීම: සමාජ ශාලාවේදී පවා මතුවන අවබෝධය
උදාහරණයක් ලෙස සිතන්න, ඔබ තවම කිසිදු මාර්ගඵලයක් ලබා නැහැ. ඔබ අප කියාදෙන සිහිය පැවැත්වීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක යෙදෙනවා. නමුත් ඔබ තවමත් ඔබේ පැරණි ජීවිතයේ සමහර දේවල් කරනවා. අපි හිතමු, ඔබ රාත්‍රී සමාජ ශාලාවලට යන කෙනෙක් කියලා. ඔබ තවමත් මූලික පුහුණුව ලබන නිසා, ඔබ සතිය පවත්වන ගමන්ම, සමහර විට මත්පැන් පානය කරන්න, විනෝද වෙන්න සමාජ ශාලාවලට යනවා.
ඔබ එහි ගොස් විනෝද වෙනවා. නමුත්, මේ සිහිය පැවැත්වීම පුහුණු වීමට පෙර එහි ගිය පුද්ගලයා නෙවෙයි දැන් යන්නේ. දැන් යන්නේ යම් අධ්‍යාත්මික පුහුණුවක් ලබන කෙනෙක්. ඔහු එහිදී මත්පැන් පානය කරනවා, නටනවා, ඒ සියල්ල කරනවා. නමුත් ඒ අතරතුර, ඔහුගේ මනසට එක කාරණාවක් වද දෙනවා: “මේක නෙවෙයි නියම දේ, මේක නෙවෙයි ජීවිතේ, මේක නෙවෙයි මානසික නිදහස”. මේ වගේ දේවල් ඔහුට නිතරම මතක් වෙන්න ගන්නවා.
ඔබත් මෙවැනි කෙනෙක් නම්, මම මේ සමාජ ශාලාව උදාහරණයට ගත්තේ ඔබට තේරුම් ගැනීමට පහසු වීමටයි. ඔබ සතුටු වෙන්න යන ඕනෑම තැනක් ගැන සිතන්න. මේ සිහිය පිහිටුවන්නට පෙර, මෙවැනි තැනකට ගිය විට ඔබට එසේ සිතුණාදැයි කල්පනා කර බලන්න. බොහෝ විට එසේ නොසිතෙන්නට ඇති.
එසේ සිතුණු අය තමයි මෙවැනි අධ්‍යාත්මික මාර්ග සොයාගෙන එන්නේ. කොහොම නමුත්, සමාජ ශාලාව තුළ මොන වරද කළත්, ඔහුට “නියම මාර්ගය මේක නෙවෙයි. මම තවමත් ලෞකික කාමයන්ට ආශාවෙන් ඉන්න නිසා තමයි මෙහෙම වැටිලා මේවා විඳින්නේ” කියා වැටහීමක් එනවා. ඔහු එතැනින් පිටතට පැමිණ, මත්වතුරේ වෙරි මත සිඳී ගිය පසු, නැවත සිහිය පැවැත්වීම පුහුණු කරන්නට පටන් ගන්නවා.
මෙලෙස දිගින් දිගටම පුහුණු වෙද්දී, ඔහුගේ සිත නැවත නැවතත් සමාජ ශාලාවට යා යුතුය යන තැනට පත් වෙන්නේ නැහැ. ඔහු සිහිය පවත්වන විට සිතින් විඳින නිදහසත්, සමාජ ශාලාවේදී ලබන තාවකාලික සතුටත් සංසන්දනය කරන්නට පටන් ගන්නවා. මේ දෙක අතර වෙනස ඔහුට පැහැදිලිවම වැටහෙනවා. මේ තුළින්, දිනපතා සමාජ ශාලාවට ගිය පුද්ගලයා, දවසක් ඇර දවසක් හෝ දවස් දෙකකට වරක් යන තැනට ඔහුගේ සිත පත් වෙනවා. ඔහුගේ ගමන ක්‍රමයෙන් වෙනස් වෙනවා.

වැරදීම් සහ නැගී සිටීම: පරිවර්තනයේ ස්වභාවය
මෙතැනදී ඔබ තේරුම් ගත යුතු වැදගත් දෙයක් තිබෙනවා. ඔබ කොතරම් සිහිය පැවැත්වුවත්, වයස්, ජාති, ආගම් භේදයකින් තොරව, ඔබේ අතින් වැරදි සිදුවෙන්න පුළුවන්. එය සාමාන්‍ය දෙයක්. නමුත් වැදගත්ම දේ නම්, වැරැද්දක් වූ පසු, ඒ ගැන දහස් වතාවක් පසුතැවෙමින් හෝ එය හදාගත යුතුයි යන සිතුවිල්ල ඔබට ඇති වීමයි.
බුදුරජාණන් වහන්සේ අපට කියාදුන් මේ සතර සතිපට්ඨාන ක්‍රමය, එනම් විදර්ශනාව පුහුණු කරද්දී, වැරැද්දක් වූ විට එය හදාගන්නට ඕනෑය යන සිතුවිල්ල නැවත නැවතත් අප තුළ පහළ වෙනවා. ඔබේ අතින් තවමත් වැරදි සිදුවිය හැකි වුවත්, එය නිවැරදි කර ගැනීමේ සිතුවිල්ල අනිවාර්යයෙන්ම ඇති වෙනවා.
මේ මාර්ගඵල හෝ සිතේ ස්ථාවර මට්ටම්වලට එනතුරු අප අතින් වැරදි සිදුවීම සාමාන්‍යයි. මෙහි විශේෂත්වය මෙයයි: සිහිය හෝ සතර සතිපට්ඨානය ගැන නොදන්නා, ප්‍රායෝගිකව පුහුණු නොවන සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයෙක්, එම වැරදිවලම නැවත නැවත නියැලෙමින්, “ජීවත් වෙනකම් කරන්න තියෙන්නේ මේවා තමයි, මේක තමයි සුදුසු” කියා සිතා ඒ තුළම ජීවත් වෙනවා.
නමුත් සිහිය පුහුණු කරන පුද්ගලයා, ඒ ජීවිතය ගත කළත්, “නෑ, මම මෙයින් මිදී වෙනම ගමනක් යා යුතුයි” කියා නිරන්තරයෙන් සිතනවා. සිත ස්ථාවර මට්ටමකට, එනම් නැවත පහළට නොවැටෙන මට්ටමකට එනතුරු, මේ ස්වභාවය ඔහු තුළ පවතිනවා. නමුත් එවැනි ස්ථාවර මට්ටමකට පැමිණි පසු, නැවත වැටීමක් සිදුවන්නේ නැහැ.

උපේක්ෂාව අවබෝධ කර ගැනීම: නිර්වාණයට යන මග
මා මෙතෙක් විස්තර කළ මේ ගමනේදී, ඔහුගේ සිත යම් උපේක්ෂක භාවයකට, එනම් මධ්‍යස්ථ භාවයකට පත්වීමක් සිදුවී තිබෙනවා. උපේක්ෂාවේ ඉහළම තැන තමයි නිර්වාණය කියලා හඳුන්වන්නේ. ඒ ගමන් මාර්ගයේ සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් යන මට්ටම් හතර, උපේක්ෂාවේ විවිධ මට්ටම් ලෙස හඳුන්වන්නට පුළුවන්.
සෝවාන් මාර්ගඵලය යනු උපේක්ෂාවේ එක්තරා මට්ටමක්. සකෘදාගාමී යනු ඊට වඩා ඉහළ මට්ටමක්. අනාගාමී යනු ඊටත් වඩා ඉහළ මට්ටමක්. එය සම්පූර්ණයෙන්ම තේරුම් ගත් තැන නිර්වාණය හෙවත් අරිහත්වයයි.
නැවතත් මම මතක් කරනවා, බොහෝ දෙනෙක් මාර්ගඵල සොයන නිසා, “මගේ හිත මේ මට්ටමේ තියෙන්නේ, මම මේ මාර්ගඵලයේද ඉන්නේ?” කියා අසන්නට පෙළඹෙනවා. කරුණාකර එවැනි ප්‍රශ්න අසන්නට එපා. අපට අවශ්‍ය වන්නේ, ප්‍රායෝගිකව තමන්ගේ සිත ස්ථාවරද නැද්ද කියා තේරුම් ගැනීම පමණයි.
කිසිදු මාර්ගඵලයක් හෝ ස්ථාවර මට්ටමකට නොපැමිණි, පුහුණුවේ මූලික අවධියේ සිටින කෙනෙකුට වුවත්, මෙවැනි උපේක්ෂක ස්වභාවයන්ට සිත පත් වෙන්න පුළුවන්. එය සිතේ ස්වභාවයයි. මේ මාර්ගයේදී එය තේරුම් ගැනීම අපේ අවබෝධයට ඉතා වැදගත්.
දැන් ඔබට වැටහෙනවා ඇති, මේ සිහිය පැවැත්වීම ප්‍රායෝගිකව පුහුණු කරද්දී, ඔබේ සිතත් යම් යම් අවස්ථාවල මධ්‍යස්ථ, උපේක්ෂක ස්වභාවයට පත්වුණාද, ඇලීම් ගැටීම්වලින් මිදී තිබුණාද කියා. “මම වෙනදාට වඩා මධ්‍යස්ථ පුද්ගලයෙක්ද?” “මම එකම සිතුවිල්ලක ඇලී ඇලී ඉන්නවාද, නැත්නම් ගැටෙමින් ඉන්නවාද?” කියා දැන් ඔබට වැටහෙනවා ඇති.
ඔබ තවමත් එකම සිතුවිල්ලක නිරන්තරයෙන් ඇලෙමින් හෝ ගැටෙමින් ඉන්නවා නම්, එහි අර්ථය, ඔබ තවමත් ඒ සිතුවිල්ල තේරුම් අරගෙන නැහැ, ඒ සම්බන්ධයෙන් මධ්‍යස්ථ වෙලා නැහැ, උපේක්ෂකත්වයට පත්වෙලා නැහැ. අප සිතුවිලි තේරුම් ගන්න ගන්න, ඒවා අපට වද දීම නතර වී, සාමාන්‍ය, නිකන්ම ඇවිත් යන සිතුවිලි බවට පත් වෙනවා. අප ළඟා කරගත යුත්තේ මෙන්න මේ තත්ත්වයයි.

සිතුවිලි සමඟ වැඩ කිරීම: බිය සහ කලබලය ජය ගැනීම
ඕනෑම සිතුවිල්ලක් තේරුම් ගත් කෙනාගේ සිත ඉතා උපේක්ෂකයි, මධ්‍යස්ථයි. එවැන්නා කිසිම දේකට කැළඹෙන්නේ හෝ බිය වන්නේ නැහැ. අපි යම් දේකට බයයි කියන්නේ, අපි ඒ බය ගැන තේරුම් අරගෙන නැහැ, අපේ සිත ඒ සම්බන්ධයෙන් උපේක්ෂක නැහැ. අපි යම් දේකට කලබල වෙනවා කියන්නේ, අපි ඒ දේ හරියට තේරුම් අරගෙන නැහැ.
ඒ නිසයි මම නිතරම කියන්නේ, ඔබේ සිතේ කලබල ස්වභාවයක් හෝ බියක් ඇති වූ විට, සිහිය පවත්වා ඒ ස්වභාවය සිතුවිලි තේරුම් ගැනීම තුළින් අධ්‍යයනය කරන්න කියා. රාගය, ද්වේශය, ලෝභය, ඉරිසියාව, කුසල්, අකුසල් වැනි ඕනෑම සිතුවිල්ලක් කෙරෙහි ඔබට ඇලීමක් හෝ ගැටීමක් ඇති වෙනවා නම්, හරියට රහස් පරීක්ෂකයෙක් වගේ ඒ සිතුවිල්ල ගැන හොඳින්ම සොයන්න.
ඔබ කොතරම් ඒකට ඇලිලාද? කොතරම් ගැටිලාද? ඒ සිතුවිල්ල නිසා ඔබේ ශරීරයට, පපුවට, ඔළුවට යම් වේදනාවක්, බලපෑමක් දැනෙනවාද? මෙසේ ක්‍රමානුකූලව අධ්‍යයනය කරන්න. එසේ කරන විටයි ඔබට සිත සහ සිතුවිලි ගැන තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එය තේරුම් ගත්තා යනු, ඔබ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාවට, එනම් මධ්‍යස්ථ, උපේක්ෂක ස්වභාවයට පැමිණීමයි.
අප ඇලී ගැටී ඉන්නේ මේ සිතුවිලිවලට නේදැයි තේරුම් ගන්නා විට, ඒ තත්ත්වය ඇති වෙනවා. නමුත් අප තවමත් බොහෝ කාරණා සම්බන්ධයෙන් අසීහියෙන්, එනම් තේරුම් නොගෙන ඉන්නවා. ඒ නිසා අපි තවමත් ඒ දේවලට ඇලෙමින් ගැටෙමින් කාලය ගත කරනවා.

පරිණතභාවය යනු ප්‍රඥාවයි: ඔබේ ආලෝකය ඔබ තුළමයි
අප සමඟ අදහස් හුවමාරු කරගන්නා සමහරුන් පවසන දෙයක් තමයි, “අපි ඉස්සරට වඩා දැන් උපේක්ෂකයි” කියා. එයින් අදහස් වන්නේ, ඔවුන් තමන්ගේ පෙර සිටි මට්ටම සහ වර්තමාන මට්ටම සංසන්දනය කර, තමන්ගේ දුර්වලතා මඟහරවාගෙන, සිත ගැන හොඳ අධ්‍යයනයක් කර ඇති බවයි.
සම්පූර්ණ උපේක්ෂක භාවයක්, රහතන් වහන්සේ කෙනෙකුට සමාන මට්ටමක් නැති වුණත්, ඉස්සරට වඩා ඔබ උපේක්ෂක සහ මධ්‍යස්ථ වීම තමයි වැදගත්ම දේ. සිතුවිලි තේරුම් ගන්නා විට අපේ මනස ඒ තත්ත්වයට පත් වෙනවා. සිහිය පැවැත්වීමේ, සතර සතිපට්ඨානයේ, විදර්ශනාවේ වැදගත්කම එයයි.
මේ උපේක්ෂක භාවයට පත්වීම යනු, අපි පරිණත වෙනවා කියන එකයි. එයට වයස් භේදයක් නැහැ. ඔබට වද දුන්, පීඩනයක් ගෙන දුන් සිතුවිල්ලක් අධ්‍යයනය කර, එය තේරුම් ගෙන, වර්තමානයේ එය කොහොම ආවත් ඔබට වදයක්, ඇලීමක්, ගැටීමක් ඇති නොවන තැනට පත්වෙලා නම්, ඔබ ඒ සිතුවිල්ලෙන් පරිණත වෙලා. ඔබ ඒ අත්දැකීම තුළින් ප්‍රඥාවන්ත වෙලා.
ගොඩක් අය අහන ‘ප්‍රඥාව’ කියන්නේ මෙන්න මේකටයි. එයයි ඔබේ ආලෝකය බවට පත් වෙන්නේ. ඒ තුළ ඔබට පුදුමාකාර මානසික සුවයක් සහ නිදහසක් දැනේවි. යම් මොහොතක ඔබට මානසික සුවයක් නැත්නම්, ඔබ අනිවාර්යයෙන්ම යම් දෙයකට ගැටීමකින් හෝ නොලැබීමක් නිසා කණගාටුවෙන් ඉන්නේ. ඒ වෙලාවට සිහියෙන් ඒ දෙස බලා සිටියොත්, ඒ කණගාටුව ටිකෙන් ටික අඩු වී යනවා ඔබටම පෙනේවි. ඔබේ නිදහස තියෙන්නේ ඒ සිතුවිල්ල තුළමයි.

මඩ වළෙන් මැණික සොයා ගැනීම: ඔබේ විමුක්තිය ඇත්තේ සිතුවිලි තුළයි
අපි බොහෝ විට ලෞකික ලෝකය තුළ පිටතින් සැනසීම සෙව්වත්, ඒ සියල්ල තාවකාලිකයි. ඒ වගේම, බොහෝ දෙනෙක් භාවනා කරන්නේ සිතුවිලි නැති කරන්න, සිත හිස් කරන්න. එය වැරදි අදහසක්. සමථ භාවනාවකින්වත් සිතුවිලි සම්පූර්ණයෙන්ම නැති කරන්න බැහැ, යම්තාක් දුරට අඩු කරගැනීමක් පමණයි කළ හැක්කේ. නමුත් විදර්ශනානුකූලව, අපේ සිත සහ සිතුවිලි තේරුම් ගැනීම තුළින්, සිතුවිලි ක්‍රමානුකූලව, ස්වභාවිකවම අඩුවීමක් සිදුවෙනවා.
උපමාවකින් කිව්වොත්, මම ඔබට මඩ වළක් දී, ඒ තුළ වටිනා මැණිකක් තිබෙනවා යැයි කියනවා. ඔබ ඒ මඩ පීරලා, පීරලා, කොහොමහරි ඒ මැණික හොයාගන්නවා. අන්න ඒ වගේ, ඔබට වද දෙන, ඔබ වැඩියෙන්ම ඇලී හෝ ගැටී සිටින සිතුවිල්ල, සිහියෙන් සහ ප්‍රඥාවෙන් යුක්තව පීරලා බැලුවොත්, ඒ සිතුවිල්ල තේරුම් ගැනීම තුළින්ම, මැණිකක් උපදිනවා වගේ, ඔබේ නිර්වාණය, ඔබේ ආලෝකය සහ මානසික නිදහස පහළ වෙනවා.
එය අපේ අත්දැකීමෙන් කියන දෙයක්. ඔබට එය ලැබෙන්නේ නැත්නම්, දුර්වලතාවය ඇත්තේ බුදුරජාණන් වහන්සේ ළඟවත්, කියා දෙන කෙනා ළඟවත් නෙවෙයි, ඔබ ළඟයි. එය දුර්වලතාවයක් ලෙස නොසිතා, තමන්ට තවමත් ඒ කොටස තේරුම් ගැනීමට ප්‍රඥාව මෝරලා නැති බව වටහාගන්න.
සිතුවිල්ලක් මේ ආකාරයට තේරුම් ගත් විට, මඩ ගොඩෙන් මැණිකක් මතුවෙනවා සේ, සිත උපේක්ෂකත්වයට සහ මධ්‍යස්ථ භාවයට පත් වෙනවා. එසේ වූ විට, ඔබ ඒ සිතුවිල්ලට තිබූ වහල්කමින් නිදහස් වූ, නිදහස් පුද්ගලයෙක් බවට පත් වෙනවා.

හුරුවීම සහ පරිණතභාවය: ජීවිතයට මුහුණ දීමේ කලාව
මෙය තවත් උපමාවකින් පැහැදිලි කරන්නම්. හිතන්න, දරුවෙකුට ඉපදුණු දා සිට අවුරුද්දක් ඇර අවුරුද්දක් ගුටි කන්නට සිදු වෙනවා කියා. එක අවුරුද්දක් ගුටි කනවා, ඊළඟ අවුරුද්ද නිදහසේ ඉන්නවා. කාලයක් යද්දී, ඒ දරුවාට මේ දෙයම සිදුවෙද්දී, ඔහු එයට හුරු වෙනවා. එය ඔහුට සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ, අපේ සිත ගැනත් මේ ආකාරයට සිතුවිලි තේරුම් ගැනීම තුළින් අපි පරිණත වෙනවා, ප්‍රඥාවන්ත වෙනවා.
බොහෝ දෙනෙක් සිතට රාගයක් හෝ ද්වේශයක් ආ විට පුදුම විදිහට බය වෙනවා, කලබල වෙනවා, ඒ සිතුවිල්ල විනාශ කරන්න උත්සාහ කරනවා. නමුත් එය කළ නොහැකි දෙයක් බව ඔබ දන්නවා. අර දරුවාට අවුරුදු තිහක් යනතුරු වෙන විකල්පයක් නැතිව, බේරෙන්නට ක්‍රමයක් නැතිව එකම දේට මුහුණ දෙද්දී එය සාමාන්‍ය දෙයක් වූවා සේම, අපත් සිත අධ්‍යයනය කරන විට, හොඳ-නරක, රාග-ද්වේශ සිතුවිලි, ප්‍රිය-අප්‍රිය අරමුණු (දකින රූප, ඇසෙන ශබ්ද) පැමිණීම සහ නැතිවී යාම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. සිහිය පවත්වන විට, මේ කිසිවකින් සිත කැළඹෙන්නේ නැති තත්ත්වයට පත් වෙනවා.
ගැටලුව ඇත්තේ අපි මේ ස්වභාවයට හුරු වී නැති එකයි. හුරු වෙනවා කියන්නේ සිත උපේක්ෂක වෙනවා, මධ්‍යස්ථ වෙනවා කියන එකයි. එසේ වූ විට, ඔබ සැබෑ මානසික නිදහස භුක්ති විඳින, නිදහස් පුද්ගලයෙක් බවට පත් වෙනවා.
වර්තමාන දේශපාලනය දෙස බලන්න. අවුරුදු හැත්තෑවක් තිස්සේ එකම දේ සිදුවෙනවා. එක කණ්ඩායමක් ඇවිත්, සහන දී, මිනිසුන් රවටා, ඡන්දය දිනාගෙන, රටට කළ හැකි සියලු දේ කර, වසර පහකට පසු යනවා. ඊළඟට විපක්ෂය ඇවිත්, ඔවුන්ද ඒ ටිකම කරනවා. මේ චක්‍රය දෙස බලා සිටින පරිණත මනුස්සයෙකුට දැන් එය සාමාන්‍ය දෙයක්.
ඔහු ඒ උගුල්වලට අහුවෙන්නේ නෑ. ඔහු ලෞකික මට්ටමින් පරිණතයි. නමුත් අලුතින් දේශපාලනය ගැන උනන්දු වෙන තරුණයෙක්, මේ පක්ෂ විපක්ෂවලට රැවටී, කඩේ ගොස්, කෑ ගසා, තවත් වසර ගණනාවකට පසුවයි මේ චක්‍රය තේරුම් ගන්නේ. අන්න ඒ වගේ තමයි අපේ සිතත්. මේ අධ්‍යයනය කරන විට, හොඳ-නරක සිතුවිලි, ප්‍රිය-අප්‍රිය අරමුණු එනවා යනවා. මේ සියල්ලටම හුරු වූ විට, සිත කැළඹෙන්නේ නැති, උපේක්ෂක, මධ්‍යස්ථ තත්ත්වයකට පත් වෙනවා. එවිට ඔබ සැබෑ මානසික නිදහස ලබනවා.

නිගමනය: ඔබේ මාවත, ඔබේ නිදහස
මෙම දේශනාව තවදුරටත් දික් කරන්නට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය කරන නිසි අවබෝධය සහ ප්‍රායෝගිකත්වය මෙම කරුණු තුළින් ලැබෙන්නට ඇතැයි සිතනවා. වැදගත්ම දේ වන්නේ මේ ආකාරයට නොනවත්වා පුහුණු වීම සහ තමන්ගේ සිත ගැන, මනස ගැන සිතුවිලි තේරුම් ගැනීමයි. කලබල නැතුව, වේගයෙනුත් නැතුව, හිමිනුත් නැතුව, මධ්‍යස්ථව මේ මාර්ගයේ ගමන් කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා.
අදට මෙම දේශනාව අවසන් කරනවා. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන්, තමන්ගේ සිත ගැන මේ ආකාරයට තව තවත් තේරුම් ගන්නට ඔබට ශක්තිය ලැබේවා කියා ආශිර්වාද කරමින් මෙම ලිපිය අවසන් කරනවා.
මේ උතුම් මඟෙහි අප සමඟ එක්ව ගමන් කිරීමට ඔබටත් අපි ආරාධනා කරමු. අපගේ ඉගැන්වීම් කියවා, සියල්ලටම වඩා වැදගත් ලෙස, ඒවා ඔබගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්න. ඔබ ලබන අත්දැකීම් සහ ඔබට ඇතිවන ගැටළු, අපගේ ලිපියට පහළින් ඇති අදහස් තීරුවේ සටහන් කරන ලෙස අපි ඔබව දිරිමත් කරන්නෙමු. ඔබ අසන ප්‍රශ්න, ඔබගේ අවශ්‍යතාවලටම ගැලපෙන ලෙස ඉදිරි ලිපි සහ වීඩියෝ සකස් කිරීමට අපට මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම, වෙබ් අඩවියේ ඇති ‘Contact Us‘ පෝරමය හරහා ද ඔබට අප හා සම්බන්ධ විය හැකිය.
අපගේ මෙම උත්සාහය, ඔබ තුළ සැඟවී ඇති ආධ්‍යාත්මික බීජය, එනම් සමාධිය, ධ්‍යාන සහ අභිඥා වැනි ගුණාංග පෝෂණය කිරීමයි.
අප සමඟ එක් වූ ඔබට ස්තූතියි. මෙම වෙබ් අඩවිය ඔබගේ අධ්‍යාත්මික ගමනට මහත් ශක්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!
