තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම!
අපගේ කාර්යබහුල ජීවිතයේදී සිතට සැනසීමක්, ජීවිතයට ආරක්ෂාවක් ලබා දෙන සරලම සහ බලගතුම භාවනා ක්‍රමයක් තමයි මෛත්‍රී භාවනාව කියන්නේ. මෙය පාලි භාෂාවෙන් මෙත්තා භාවනා ලෙසද හඳුන්වනු ලබනවා. මෙහි සරල අරුත වන්නේ කිසිදු භේදයකින් තොරව සියලු සත්වයන්ට හිතවත්කම, කරුණාව සහ ආදරය පැතිරවීමයි.
මෙම ලිපියෙන් අපි මෛත්‍රී භාවනාව කිරීමෙන් ලැබෙන ආනිසංස මොනවාද සහ එය ප්‍රායෝගිකව වඩන ආකාරය ගැන කතා කරමු. ඔබ මෙම භාවනාවට අලුත් කෙනෙක් වුවත්, මෙම සරල මග පෙන්වීම ඔබට මහත් සේ උපකාරී වේවි.

මෙත් වැඩීමේ ආනිසංස එකොළහ (මෙත්තානිසංස සූත්‍රයට අනුව)
බුදුරජාණන් වහන්සේ විසින් මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කර ඇති ආකාරයට, නිවැරදිව මෛත්‍රී භාවනාවේ යෙදෙන පුද්ගලයෙකුට බලවත් ආනිසංස, එනම් ප්‍රතිලාභ එකොළහක් ලැබෙන බව සඳහන් වෙනවා. මෙම ආනිසංස අපගේ ලෞකික සහ ආධ්‍යාත්මික ජීවිත දෙකටම එක සේ වැදගත් වෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති ආකාරයට මෙත් වැඩීමෙන්, මෛත්‍රී භාවනාවේ යෙදීමෙන් අපට ලැබෙන ආනිසංස 11ක් ගැන කෙටියෙන් මෙසේ සඳහන් කළ හැකියි. මේ ගැන ඔබට පිරිත් පොතෙහි සඳහන් වන මෙත්තානිසංස සූත්‍රයේ සිංහල අර්ථය කියවීමෙන් හෝ මේ සම්බන්ධයෙන් ගැඹුරින් දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනා වලට සවන් දීමෙන් පුළුවන්.
- සුවසේ නිදයි: මෛත්‍රී භාවනාවේ යෙදෙන අයට සුවසේ නින්දක් ලැබෙනවා. සැබවින්ම අපට සුවසේ නිදා ගැනීමට පුළුවන් වෙනවා.
- සුවසේ පිබිදෙයි: සුවසේ පිබිදීම, එනම් සුවසේ නැගිටීම මෙයින් සිදු වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
- ලාමක සිහින නොදකියි: නරක, ලාමක හෝ බියකරු සිහින නොදකින බව මෙයින් අදහස් කරනවා.
- මිනිසුන්ට ප්‍රියමනාප වෙයි: අප සමාජයේ ආශ්‍රය කරන මිනිසුන්ට අපව ප්‍රියමනාප වෙනවා.
- නොමිනිසුන්ටද ප්‍රියමනාප වෙයි: නොමිනිසුන් යනු අමනුෂ්‍යයන්, එනම් නොපෙනෙන ලෝකයේ සිටින සත්වයන්ටත් අපව ප්‍රියමනාප වෙනවා.
- දෙවියන් විසින් රකියි: මෛත්‍රී භාවනාවේ යෙදෙන අය දෙවියන් විසින් රකින බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
- ගින්නෙන්, විසෙන් හා ආයුධවලින් උපද්‍රව නොවේ: ගින්නකින්, විෂ සහිත දේවලින් හෝ ආයුධවලින් යම්කිසි උපද්‍රවයක් සිදුවීමට තිබුණත්, ඒවා අපට හානියක් නොකරන බවත්, ඒවායින් අපව ආරක්ෂා වන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා.
- ඉක්මනින් සිත සමාධියට පත්වේ: මෛත්‍රී භාවනාව තුළින් ඉතා ඉක්මනින් සිත සමාධියට පත්වෙනවා.
- මුව පැහැපත් වේ: අපගේ මුහුණ ප්‍රියමනාපව, ලස්සන වෙනවා.
- සිහියෙන් මිය පරලොව යයි: මරණාසන්න මොහොතේදී අසිහියෙන් නොව, සිහියෙන් යුක්තව මිය පරලොව යන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
- මාර්ග ඵලයකට පත්වේ, නොඑසේ නම් බඹලොව උපදී: මාර්ග ඵලයකට පත්වීමට හෝ, එසේ නොවන්නේ නම්, අනිවාර්යයෙන්ම බඹලොව ඉපිදීමට අවස්ථාව ලැබෙනවා.

මා පෞද්ගලිකව මෙත් වඩන ආකාරය
මෛත්‍රී භාවනාව විවිධ ක්‍රම වලට කළ හැකි වුවත්, මා පෞද්ගලිකව අනුගමනය කරන සරල සහ බලවත් ක්‍රමයක් මෙසේ ඔබ සමඟ බෙදා ගන්නම්. මා මෙත්තානිසංස භාවනාවේ යෙදෙද්දී, මා මටම මෙත් වඩන්නේ නැහැ. මා කරන්නේ දස දිසාවටම මෙත් වැඩීමයි. එනම් විශ්වයේ සියලුම දිශාවන්ට මෛත්‍රිය පැතිරවීමයි. මා මෙත් වඩන ආකාරය සරලව පැහැදිලි කරන්නම්.
පළමුවෙන්ම මා පොදුවේ ව්‍යවහාර කරන උතුරු දිසාව අරමුණු කරගන්නවා. ඉන්පසු මෙසේ මෙත් වඩනවා:
“උතුරු දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් ලබත්වා.”
මෙසේ මා චිත්ත ශක්තියක්, නැතිනම් චිත්ත ආකර්ෂණයක් හෝ චිත්ත කිරණක් උතුරු දිසාව අරමුණු කරගනිමින් විනාඩි තුනත් පහත් අතර කාලයක් පුරාවට යොදවනවා.
මේ ආකාරයෙන්ම මා දකුණු දිසාව, නැගෙනහිර දිසාව, බටහිර දිසාව, ඊසාන දිසාව, ගිනිකොණ දිසාව, නිරිත දිසාව සහ වයඹ දිසාව යන පොදුවේ ව්‍යවහාර කරන දිසා අට තෝරාගෙන, එක් දිසාවකට විනාඩි තුනත් පහත් අතර කාලයක් චිත්ත කිරණ, චිත්ත ආකර්ෂණය හෝ චිත්ත ශක්තිය යොදවමින් මෙත් වඩනවා.
ඊට අමතරව තවත් දිසා දෙකක් තිබෙනවා, එනම් මා දස දිසාවටම මෙත් වඩනවා යැයි කීවාක් මෙන්, ඉහළ දිසාව සහ යට දිසාවයි.
- ඉහළ දිසාවට මෙත් වැඩීම: ඉහළ දිසාව යන්නෙන් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සහ මේ විශ්වයේ සිටින සියලු සත්වයින් අයිති වෙනවා. මා ඉහළ දිසාව අරමුණු කරගෙන, “ඉහළ දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිවන් ලබත්වා” කියා විනාඩි තුනක් පහක් අතර කාලයක් මෙත් වඩනවා.
- යට දිසාවට මෙත් වැඩීම: යට දිසාව යන්නෙන් මේ පොළොවේ සිටින පණුවන්, ක්ෂුද්‍ර ජීවීන්, විවිධ සත්වයින්, පොළොව ආශ්‍රිතව ජීවත් වන සත්වයින් සහ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපාය වැනි ස්ථානවල සිටින සත්වයින් ඇතුළත් වෙනවා. මා යට දිසාව අරමුණු කරගෙන, “යට දිසාවේ සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් ලබත්වා” කියා මෙත් වඩනවා.
මේ ආකාරයෙන් මා දස දිසාවටම මෙත් වඩනවා. අවසානයේදී මා මෛත්‍රී භාවනාව අවසන් කරන්නේ, “දස දිසාවේම සිටින්නා වූ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, නිවන් ලබත්වා” කියා එකවරම දිසා දහයම මෙනෙහි කරමින් විනාඩි තුනත් පහත් අතර කාලයක් චිත්ත ආකර්ෂණය, චිත්ත ශක්තිය යෙදවීමෙනුයි.
මෙලෙස මා දවසට විනාඩි 20ක් හෝ පැය භාගයක් අතර කාලයක් එක් වතාවක් පමණ මෛත්‍රී භාවනාවේ යෙදෙනවා. මා කලින් ලිපියේ සඳහන් කළ ප්‍රතිඵල, ආනිසංස මෙන්ම, මේ ලිපියේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇති ආනිසංස එකොළහත් මෙහිදී සඳහන් කළා. ඔබට කැමති නම් මා මේ යෙදෙන පෞද්ගලික ආකාරයෙන් යෙදෙන්නට පුළුවන්. නැතිනම් ඔබ කැමති වෙනත් ක්‍රමයක්, එනම් වෙනත් ස්වාමීන් වහන්සේලා විසින් දේශනා කර ඇති හෝ ඔබට ආස ක්‍රමයක් තිබෙනවා නම්, ඔබට ඒ ආකාරයටත් යෙදෙන්නට පුළුවන්.
කාර්යබහුල ජීවිතයට මෛත්‍රී භාවනාව එක් කරගන්නේ කෙසේද?
කාර්යබහුල කෙනෙක් වුවත්, රාජකාරීවල යෙදෙන විටදී පවා මෙත් වඩන්නට පුළුවන්. ඔබට මෛත්‍රී භාවනාවේ යෙදෙන්නට කාලයක් ඇත්තෙම නැතිනම්, අධික කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ නම්, ඔබට මෙලෙස යෙදිය හැකියි: හැමවෙලේම “සියලු සත්වයෝ සුවපත් වේවා” කියා තම සිතින් මුළු ලෝකයම අරමුණු කරගනිමින්, කුමන රාජකාරීවල යෙදුණත්, මෙත් සිතුවිල්ලක් වඩන්න.
උදාහරණයක් ලෙස, ඔබ ගෙදර දොරේ වැඩ කරන ගමන්, අතුගාන ගමන් සිටිනවා නම්, ඒ අතරතුර ඔබේ චිත්ත ශක්තියක් මේ විශ්වයට, මේ ලෝකයට “සියලු සත්වයෝ සුවපත් වේවා” කියා නිකුත් කරන්න. ආහාර ගන්නා විටදීත්, “සියලු සත්වයෝ සුවපත් වේවා” කියා මෙත් වඩන්න. ඔබේ රාජකාරී ස්ථානයේ රාජකාරී කරන විට, වාහනයක් පදවන විටදීත්, මේ ආකාරයෙන් “සියලු සත්වයෝ සුවපත් වේවා” කියා මෙත් වඩන්නට පුළුවන්. මේ ආකාරයෙන් මෙත් වැඩීමෙන්ද ඉහත සඳහන් කළ ආනිසංස සහ ආරක්ෂාවන් ඔබට ලැබෙනවා.

අවසාන වශයෙන්
මා මේ කාරණා ඉතා කෙටි කාලයක් තුළ ඔබ සියලු දෙනාට පැහැදිලි කළේ කියවීමට පහසු වන නිසයි. සමථ භාවනාවල යෙදෙන අපගේ ආධ්‍යාත්මික පිරිසක් ලෙස ඔබ සියලු දෙනාට මේ දේවල් වල යෙදෙන්නට මා මතක් කරනවා.
මෛත්‍රී භාවනාව යනු අපගේ සිත සුවපත් කරන, ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරන සහ මනසට නිදහසක් ගෙන දෙන බලවත් මෙවලමකි. මෙම සරල ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කර ගැනීමටත්, සිතේ සතුට පවත්වා ගැනීමටත්, මනස නිදහස් කර ගැනීමටත් ඔබට ශක්තිය ලැබේවා. මෙම උතුම් පිළිවෙතෙහි යෙදීමට ඔබ සියලු දෙනාට තුණුරුවන්ගේත්, දෙවියන්ගේත් ආරක්ෂාව, රැකවරණය ලැබේවා!
මේ උතුම් මඟෙහි අප සමඟ එක්ව ගමන් කිරීමට ඔබටත් අපි ආරාධනා කරමු. අපගේ ඉගැන්වීම් කියවා, සියල්ලටම වඩා වැදගත් ලෙස, ඒවා ඔබගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්න. ඔබ ලබන අත්දැකීම් සහ ඔබට ඇතිවන ගැටළු, අපගේ ලිපියට පහළින් ඇති අදහස් තීරුවේ සටහන් කරන ලෙස අපි ඔබව දිරිමත් කරන්නෙමු. ඔබ අසන ප්‍රශ්න, ඔබගේ අවශ්‍යතාවලටම ගැලපෙන ලෙස ඉදිරි ලිපි සහ වීඩියෝ සකස් කිරීමට අපට මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම, වෙබ් අඩවියේ ඇති ‘Contact Us‘ පෝරමය හරහා ද ඔබට අප හා සම්බන්ධ විය හැකිය.
අපගේ මෙම උත්සාහය, ඔබ තුළ සැඟවී ඇති ආධ්‍යාත්මික බීජය, එනම් සමාධිය, ධ්‍යාන සහ අභිඥා වැනි ගුණාංග පෝෂණය කිරීමයි.
අප සමඟ එක් වූ ඔබට ස්තූතියි. මෙම වෙබ් අඩවිය ඔබගේ අධ්‍යාත්මික ගමනට මහත් ශක්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබ සියලු දෙනාට. තෙරුවන් සරණයි!
