තෙරුවන් සරණයි සියලු දෙනාටම!
අද අපගේ මෙම හිස් වර්තමානය ආධ්‍යාත්මික ලිපිය ඔස්සේ ඔබ සියලු දෙනාට පැහැදිලි කරන්නේ තෙවෙනි ඇස සම්බන්ධ ප්‍රායෝගික භාවනා ක්‍රමයක් වන හිස් සංඥාව පිළිබඳවයි. පෙර ලිපියකදී අප මෙම සංඥාව හඳුන්වා දී, එය ප්‍රගුණ කළ යුතු ආකාරය පිළිබඳ මූලික කරුණු සාකච්ඡා කළා.
නමුත් බොහෝ දෙනෙකුට මෙම සංඥාවේ ගැඹුර සහ ප්‍රායෝගික භාවිතය පිළිබඳව තවමත් පැහැදිලි අවබෝධයක් නොමැති විය හැකියි. එබැවින්, මෙම ලිපියෙන් අපි ‘හිස්’ යනු කුමන ආකාරයේ සංඥාවක්ද යන්න මුල සිටම විමසා බලමු.
මෙම තෙවැනි ඇස භාවනාවේ ප්‍රායෝගෝගික පියවරයන් ගවේෂණය කිරීමට පෙර, අප මින් පෙර සාකච්ඡා කළ මූලික කරුණු නැවත ආවර්ජනය කිරීම වැදගත් වේ. මෙම මාර්ගයට අලුතින් පිවිසෙන ඔබ, සියලු ඉගැන්වීම් මුල සිටම අධ්‍යයනය කරන ලෙස මම දිරිමත් කරමි. මන්ද, සෑම ඉගැන්වීමක්ම පෙර පැවති ඉගැන්වීම මත ගොඩනැගී ඇති බැවිනි. මෙය ඔබගේ පුහුණුව සඳහා සම්පූර්ණ හා ස්ථාවර පදනමක් සපයනු ඇත.
හිස් සංඥාව යනු කුමක්ද?
මෙය මූලිකවම සමථ භාවනාමය කර්මස්ථානයක්, එනම් සිත සන්සුන් කර එකඟතාවයට පත් කිරීම සඳහා යොදාගන්නා භාවනා අරමුණකි. සිත එකඟ කරගැනීම, ධ්‍යාන සමාපත්තිවලට නැගීම සහ අභිඥා හෙවත් අධිමානසික හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා භාවිතා කළ හැකි ඉතා ප්‍රබල සංඥාවකි.
මෙම හිස් සංඥාව නිවැරදිව ප්‍රගුණ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල රැසකි. සිතේ විසිරීම නතර වී එකඟතාවය ඇතිවේ, අනවශ්‍ය සිතුවිලි අඩු වී යයි, මනස හිස් ස්වභාවයකට පත්වේ. කාලයක් පුහුණු කරන විට සිත ධ්‍යානයට හා විවිධ සමාපත්තිවලට පහසුවෙන් යොමු කරගත හැකියි.
අප මෙම ක්‍රමය ප්‍රායෝගිකව භාවිතා කර එහි ප්‍රතිඵල අත්දැක ඇති නිසාමයි, ඔබ සියලු දෙනාටත් මෙය හුරු කරවීමට උත්සාහ කරන්නේ.
මෙම සංඥාව තේරුම් ගැනීමට, බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතළිස් කර්මස්ථාන අතරින් කිහිපයක් සලකා බලමු. උදාහරණයක් ලෙස ‘පඨවි’ කසිණය ගත හැකියි. පඨවි යනු ඝනත්වයයි.
යම් අයෙකුට පුටුවක් හෝ ඔරලෝසුවක් වැනි ඝන වස්තුවක් දෙස බලාගෙන ‘ඔරලෝසුව…, ඔරලෝසුව…’, ඔරලෝසුව…’හෝ ‘ඝනයි…, ඝනයි…, ඝනයි…’ යනුවෙන් මෙනෙහි කිරීමෙන් තම සිත එකඟ කරගැනීමට පුළුවන. ටික වේලාවකින් සිත විසිරී යාම නතර වී එම අරමුණේම පවතී.
මෙය ප්‍රායෝගිකව අත්හදා බැලිය හැකි සරල ක්රමයකි.

සමථ භාවනාවේ නිමිති – උදාහරණ කිහිපයක්
තවත් උදාහරණයක් නම් ආලෝක සංඥාවයි. අඳුරු කාමරයක ටෝච් එළියක් දල්වා, ඒ දෙස බලාගෙන ‘ආලෝකෝ…, ආලෝකෝ…, ආලෝකෝ…’ යනුවෙන් මෙනෙහි කරන විට සිත එකඟ වේ. කාලයක් යන විට, ඇස් වසා ගත් විට පවා එම ආලෝකය මනස තුළ පෙනෙන්නට පටන් ගනී.
අභිධර්මයේදී මෙය ‘උග්ගහ නිමිත්ත’ ලෙස හඳුන්වයි.
එලෙසම, නිල් පැහැති වස්ත්‍රයක් දෙස බලා ‘නිල්…, නිල්…, නිල්…’ ලෙස මෙනෙහි කිරීමෙන්ද සිත එකඟ කරගත හැකිය.
මේ සියල්ල පරිසරයේ ඇති දේවල් සමථ භාවනාව සඳහා නිමිති ලෙස භාවිතා කරන ආකාරයන්ය. මේ අතරින්, සිත දියුණු කිරීමට, සමාධිගත කිරීමට සහ ධ්‍යානයට ගොඩනැංවීමට ඇති පහසුම සහ ප්‍රබලම වචනයක් හෝ සංකල්පයක් ලෙස හිස් සංඥාව හඳුන්වා දිය හැකියි.
අපගේ පෙර සාකච්ඡාවේදී, ඔබ දැනට අභ්‍යන්තර ආලෝකයන් දකිනවද නැද්ද යන්න නොසලකා, මෙම නිමිත්ත වර්ධනය කරගන්නේ කෙසේදැයි මම පැහැදිලි කළෙමි.
දැනටමත් අභ්‍යන්තර ආලෝකයන් හෝ දර්ශන අත්විඳින අයට මෙම භාවනා ක්‍රමය අතිශයින්ම ප්‍රයෝජනවත් වේ. එමගින් එම ආලෝක නිමිති වැඩි දියුණු කර පුළුල් කිරීමටත්, ඒ හරහා සූක්ෂ්ම, නොපෙනෙන ලෝකයන් දැකීමටත් ඔබට හැකියාව ලැබිය හැක.
අප ඔබට කියාදෙන ආකාරයට මෙම හිස් සංඥාව නිවැරදිව භාවිතා කළහොත්, ඔබට පහත ප්‍රතිඵල අත්විඳිය හැකිය:
- ඔබගේ සිතේ සිතුවිලි ක්‍රමයෙන් අඩුවී, ඒවා පාලනය කිරීමේ හැකියාව ලැබේ.
- සිත එකඟ වී, ගැඹුරු සමාධියකට පත්වේ.
- ධ්‍යාන, අධිමානසික හැකියාවන් සහ විවිධ ධ්‍යාන සමාපත්තීන්ට ළඟා වීම ඉතා පහසු වේ.
- ඔබ තුළ දැනටමත් පවතින ආලෝක සංඥා (තෙවෙනි ඇස හා සම්බන්ධ) වඩාත් පැහැදිලි වී, විශාල වී, දියුණු වේ.
- නොපෙනෙන ලෝකය, එනම් අමනුෂ්‍යයින් හෝ දේවතාවන් වැනි අයව දැකීමේ හැකියාව ලැබීමට මෙම සංඥාව විශාල උපකාරයක් වේ.
මේ ආකාරයට නොයෙකුත් ප්‍රයෝජන මෙම සරල සංඥාවෙන් ලබාගත හැකි නිසා, අපි එය භාවිතා කළ යුතු නිවැරදි ක්‍රමය පිළිබඳව දැන් විමසා බලමු.

එදිනෙදා ජීවිතයේදී සිහිය පැවැත්වීමේ වැදගත්කම
මෙතැන් සිට අපි එදිනෙදා ජීවිතයේදී මෙන්ම, භාවනා ඉරියව්වේදීත් හිස් සංඥාව භාවිතා කරන ආකාරය පියවරෙන් පියවර ඉගෙන ගනිමු. මෙම ක්‍රමය ආලෝක සංඥා පෙනෙන සහ නොපෙනෙන යන දෙගොල්ලන්ටම එකසේ වලංගුය.
මෙම අභ්‍යාසය ආරම්භ කිරීමට පෙර, අප සිදු කළයුතු වැදගත්ම දෙය නම් සිහිය (සතිය) පැවැත්වීමේ අවශ්‍යතාවයයි. එනම්, තමන් දෙසම බලමින්, තමන් කරන දේ ගැන අවධානයෙන් ජීවත් වීමයි. බොහෝ දෙනෙකුට භාවනා කිරීමට වාඩි වූ විගස සිත එකඟ කරගැනීමට නොහැකි වීමට හේතුව මෙයයි.
ඔබ ගිහි හෝ පැවිදි දිවියක් ගත කළත්, දවස පුරාම විවිධ ගැටීම්, කලබලකාරී සිතුවිලි සමඟ ජීවත් වන්නේ නම්, එකවරම භාවනාවට හිඳගත් විට සිත සන්සුන් කරගැනීම ඉතා අපහසුය. ඊට හේතුව ඔබ දවසේ වැඩි කාලයක් ජීවත් වන්නේ ‘අසිහියෙන්’ වීමයි. ඔබගේ මනස ඇත්තේ ඔබ සිටින මේ මොහොතේ නොව, අතීතයේ හෝ අනාගතයේය. එකපාරටම භාවනා කරන්නට බැරිව, සිත දස අතේ විසිරී යන්නේ ඒ නිසාය.
එබැවින්, අප කළ යුත්තේ එදිනෙදා කරන සෑම කාර්යයක්ම භාවනාවක් බවට පත් කරගැනීමයි. ඔබ රැකියාවේදී, ගෙදර දොරේ වැඩ කටයුතුවලදී, ගමන් බිමන් යන විටදී, ඒ සෑම මොහොතකම, ඒ කරන කාර්යය තුළම ජීවත් විය යුතුය. මෙය, අපගේ හිස් සංඥාව දියුණු කරගැනීමට විශාල උපකාරයක් වේ.
එවිට, දවසේ වැඩ අවසන් කර භාවනාවට හිඳගත් විට, සිත ඉතා පහසුවෙන් එකඟ කරගැනීමට හැකි වනු ඇත.
හිස් වර්තමානය ප්‍රායෝගික අභ්‍යාසය: අතීත සහ අනාගත සිතුවිලි නැසීම
අපි දැන් සිහිය පවත්වන ආකාරය ප්‍රායෝගික උදාහරණයකින් ඉගෙන ගනිමු. අප කවුරුත් සාමාන්‍යයෙන් කරන දෙයක් වන ‘මිදුල අතුගෑම’ සලකා බලමු.
ඔබ මිදුල අතුගාන විට, ඔබගේ මනස ඇත්තටම තිබෙන්නේ ඒ මොහොතේද? බොහෝ විට නැත. ශරීරය අතුගෑමේ කාර්යය සිදුකරන අතර, ඔබගේ සිත සැරිසරන්නේ එක්කෝ අතීතයේ, නැත්නම් අනාගතයේය.
අතීතයට යන සිත නැසීම
ඔබ අතුගාන විට හදිසියේම මීට දින කිහිපයකට, මාස කිහිපයකට, හෝ වසර ගණනාවකට පෙර සිදු වූ සිදුවීමක්, පාසල් කාලය, රැකියා ස්ථානයේ සිදුවීමක් වැනි දෙයක් මතකයට නැගේ. ඔබ සිහියෙන් සිටී නම්, ‘මගේ සිත අතීතයට ගියා’ කියා ඔබට වැටහෙනු ඇත. අන්න ඒ මොහොතේම, ඔබ කළ යුත්තේ හිස් යන සංඥාව ආයුධයක් ලෙස භාවිතා කර ඒ සිතුවිල්ල කපා දැමීමයි. ‘හිස්’ කියා සිතූ සැණින් එම සිතුවිල්ල නැසී ගොස්, ඔබේ මනස නැවත අතුගානවා යන වර්තමාන මොහොතට පැමිණෙනු ඇත.
අනාගතයට යන සිත නැසීම
එලෙසම, අතුගාන අතරතුර හෙට දිනයේ කළ යුතු වැඩ, අනාගත සැලසුම්, ‘මම මෙහෙම වෙන්න ඕනේ’, ‘ගෙදර මෙහෙම හදන්න ඕනේ’ වැනි අනාගත සිතුවිලි ඇතිවිය හැක. එවිටද ඔබ ජීවත් වන්නේ වර්තමානයේ නොවේ. ඔබගේ සිත අනාගතයට ගිය බව හඳුනාගත් සැණින්, පෙර පරිදිම හිස් කියා සිතා ඒ සිතුවිල්ලද මරා දමන්න. එය හරියට සතුරෙකුගේ හිසට පහර දීමක් වැනිය. එවිටම ඒ සිතුවිල්ල කැඩී ගොස්, මනස නැවත වර්තමානයට පැමිණේ.
කෙලෙස් පාලනයට “හිස්” සංඥාව යොදාගැනීම
මෙම ක්‍රමය අතීත, අනාගත සිතුවිලි වලට පමණක් සීමා නොවේ. ඔබගේ මනසට එන සියලුම කෙලෙස් සිතුවිලි පාලනය කිරීමටද මෙය යොදාගත හැක. උදාහරණයක් ලෙස:
- රාගය (ඇල්ම): රාගික සිතුවිල්ලක් යනු එක්කෝ අතීතයේ හෝ අනාගතයේ දෙයක් පිළිබඳ ඇල්මක් හෝ වර්තමානයේ විඳීමට හදන දෙයකි. එයද සිතුවිල්ලක් පමණි. රාගික සිතුවිල්ලක් හඳුනාගත් සැණින්, හිස් සංඥාවෙන් එය කඩා දමන්න. සමහරුන්ට සමථ භාවනා කරන විට රාගය වැඩිවේදැයි ප්‍රශ්නයක් ඇත. ඔව්, සමහර විට එසේ විය හැක. නමුත් මෙම හිස් සංඥාව භාවිතා කිරීමෙන් එම රාගය යටපත් කරගැනීමට, ඛණ්ඩනය කිරීමට පුළුවන.
- ද්වේශය, ක්‍රෝධය, වෛරය, ඉරිසියාව: මෙය ආශාවට පමණක් නොව, ද්වේෂය, කේන්තිය, ඊර්ෂ්‍යාව, වෛරය සහ නොරිස්සුම වැනි දේටද අදාළ වේ. අප කී දේ සහ කළ දේ පිළිබඳ මතකයන්ද, අනාගත සැලසුම්ද සමඟ මෙවැනි සිතුවිලියි අපගේ මනසට ගලා එන්නේ. සමහර විට සිත නිකරුණේ සැරිසරයි. සිහිය පවත්වා ගැනීමෙන්, ඔබට මෙම ක්‍රියාවලිය නිරීක්ෂණය කර, එය බිඳ දැමීම සඳහා ‘හිස්’ නිමිත්ත භාවිතා කළ හැකිය. එම සිතුවිල්ල නැති කර දැමූ විට, ඔබගේ සිත ස්වභාවයෙන්ම වර්තමානයෙහි රැඳෙනු ඇත.
මම මෙය සරලව පැහැදිලි කළද, ඔබ මෙය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතුය. මම අතුගෑම උදාහරණයක් ලෙස යොදා ගත්තද, මෙය සෑම දෙයකටම අදාළ වේ: එනම් කෑම, බීම, හිඳීම, ඇවිදීම සහ සැතපීම යන බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ඉරියව් සතරටය. ඔබගේ සියලුම ක්‍රියාකාරකම් මෙම ඉරියව්වලට අයත් වේ. මෙය තේරුම් ගෙන, ඔබගේ දෛනික ජීවිතය පුරාවටම මේ ආකාරයට සිහිය පුහුණු කරන්න.
ඔබගේ ඉලක්කගත කාර්යයට අදාළ නොවන, නිකරුනේ එන සෑම සිතුවිල්ලක්ම මේ ආකාරයට විනාශ කර දමන්න. දවස පුරාම මේ ආකාරයට සිහියෙන් සිටීම භාවනාවකි. එවිට ඔබට ගෙදර ඇවිත් භාවනා කිරීමට හිඳගත් විට, කිසිදු අපහසුවකින් තොරව සිත එකඟ කරගත හැකිවනු ඇත.

ඉන්ද්‍රියන් හයම භාවනාවට යොමු කරගන්නා ආකාරය
බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි අපට ඉන්ද්රිය දොරටු හයක් ඇත: ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. දැන් අපි මේ සෑම ඉන්ද්‍රියක් හරහාම සිහිය පවත්වන ආකාරය සහ හිස් සංඥාව භාවිතා කරන ආකාරය උදාහරණ සහිතව බලමු. අපි නැවතත් අතුගාන ක්‍රියාවලියම උදාහරණයට ගනිමු.
ඇස (රූප)
අතුගාන විට ඔබට ලස්සන මල් ගහක් පෙනේ. සිත ඒ දෙසට ඇදී යයි. එවිට ඔබ අතුගානවාද? නැත. ඔබගේ සිත ඇස ඔස්සේ ගොස්, ඒ රූපයේ රැඳී ඇත. සමහරවිට ඔබ අතුගාන එකත් අමතක වී ඒ දෙස බලාගෙන සිටී. ඔබ දැන් අසිහියට පත්වී ඇත. සිහියට ආ සැණින්, ‘මගේ සිත රූපය දිගේ ගියා’ කියා හඳුනාගෙන, හිස් කියා සිතා එය කඩා දමා, නැවත අතුගෑමට යොමු වන්න.
එලෙසම, ඔබට අමිහිරි රූපයක් පෙනේ. උදාහරණයක් ලෙස, බල්ලෙකුගේ අසූචි ගොඩකි. එය දුටු සැනින් සිතට අප්‍රසන්න බවක්, තරහක් ඇතිවේ. ‘මොන කරදරයක්ද’ කියා සිතේ. ඔබ ඒ රූපය සමඟ ගැටී ඇත. ඒ ගැටීම හඳුනාගෙන, හිස් කියා සිතා එයද කඩා දමන්න. එවිට ගැටීමකින් තොරව, වර්තමාන මොහොතේම සිහියෙන් යුතුව ඒ අසූචි ගොඩ ඉවත් කිරීමට ඔබට පුළුවන.
කන (ශබ්ද)
අතුගාන විට පාරේ යන ‘චූන් පාන්’ රථයක ශබ්දය ඇසේ. ඒ ශබ්දය ඇසුණු සැනින්, එය මියුරු ගීතයක් ලෙස ඔබේ මනස හඳුනාගනී. ‘මගේ සිත ඒ සින්දුව දිගේ ගියා’ කියා හඳුනාගත් සැනින් හිස් කියා සිතා එය මරා දමන්න. එලෙසම, භාවනා කරන විට ඇසෙන කර්කශ ශබ්දයක් නිසා තරහක් ඇතිවුවහොත්, ඒ ගැටීම හඳුනාගෙන හිස් කියා සිතා එයද කඩා දමන්න.
නාසය (ගඳ/සුවඳ)
සුවඳ හඳුන්කූරුවල සුවඳක් හෝ සෙන්ට් සුවඳක් දැනුණු විට සිත ඒ දිගේ ඇදී යයි. ඒ බව දැනගත් සැනින් හිස් කියා සිතා එය කඩන්න. එලෙසම, ටයර් පුච්චනවා වැනි දුර්ගන්ධයක් දැනී සිත ගැටෙනවා නම්, ඒ ගැටීම හඳුනාගෙන හිස් කියා එයද කඩා දමන්න.
දිව (රස)
භාවනා කරන විට රසවත් කෑමක් (උදා: කොත්තු, පීසා) මතක් වී දිවට කෙළ උනයි. එය සිතුවිල්ලක් බව දැක, හිස් කියා එය ඛණ්ඩනය කරන්න. එලෙසම, දිව වේලී රළු ගතියක් දැනී ගැටීමක් ඇතිවුවහොත්, එයද හිස් කියා සිතා නැති කර දමන්න.
ශරීරය (ස්පර්ශය)
දාඩිය දමා සිටින විට මඳ සුළං පාරක් වැදී සනීපයක් දැනේ. සිත ඒ සැපයෙහි ඇලී, ‘ආයෙත් මෙහෙම වෙනවා නම් හොඳයි’ කියා සිතයි. ඒ ඇලීම හඳුනාගෙන හිස් කියා එය කඩා වර්තමානයට එන්න. ස්පර්ශය දැනුනට කම් නැත, සිත ඒ දිගේ දුවන්නේ නැත.
මේ ආකාරයට, බුදුන් වහන්සේ වදාළ සතර ඉරියව්වේම (හිඳීම, හිටීම, යෑම, සැතපීම) කරන සියලු ක්‍රියාකාරකම් වලදී සිහිය පවත්වමින්, හිස් සංඥාව භාවිතා කරන්න. දින කිහිපයක් මෙය කරන විට ඔබටම ඔබ තුළ ජීවත් වීමේ සැහැල්ලුව දැනෙනු ඇත.
එසේනම්, ඔබගේ දෛනික ජීවිතයේදී මේ ආකාරයට සිහිය පවත්වාගෙන යාමට පුහුණු වන්න. අපගේ භාවනා ක්‍රමය අනුගමනය කරන ඔබට මෙය කරන්නේ කෙසේදැයි වටහා ගත හැකි වන පරිදි මම මෙය සරලව පැහැදිලි කළෙමි. අදම ආරම්භ කරන්න. මේ මොහොතේම ආරම්භ කරන්න. මෙම ක්‍රියාවලිය නැවත නැවතත් කරගෙන යන්න.

භාවනා ඉරියව්වෙන් “හිස්” සංඥාව ප්‍රගුණ කිරීම
දවස පුරාම ඉහත කී පරිදි සිහියෙන් සිටීමෙන් පසු, ඔබ භාවනාවට වාඩි වූ විට සිත විසිරී යාම ඉතා අඩුය. මන්ද ඔබ පැය 24 පුරාම භාවනාවක යෙදී සිටි නිසා, වෙනස් වී ඇත්තේ ශාරීරික ඉරියව්ව පමණි. මනස ඒ වන විටත් සන්සුන්ය. දැන් අපි භාවනා ඉරියව්වෙන් හිස් සංඥාව ප්‍රගුණ කරන ආකාරය, ආලෝක සංඥා පෙනෙන සහ නොපෙනෙන අයට වෙන වෙනම බලමු.
ඇස් දෙක වසාගත් පසුද, සිත අතීතයට හෝ අනාගතයට යා හැක. එසේ වූ විට, පෙර පරිදිම ගිය බව හඳුනාගෙන, හිස් කියා සිතා එය කඩා දමන්න. සිත නිරායාසයෙන්ම වර්තමානයට, එනම් ඇස් මට්ටමට පැමිණෙනු ඇත.
ආලෝක සංඥා නොපෙනෙන අයට උපදෙස්
ඔබට කිසිදු රූපයක් හෝ ආලෝකයක් නොපෙනේ නම්, ඒ ගැන කණගාටු නොවන්න.
ඔබගේ ඇස් මට්ටමේ ඇති අඳුර හෝ හිස් බව දෙස අවධානය යොමු කරන්න. ඒ හිස් බවේම, සිතුවිලි නැති සුවයේම රැඳෙමින්, ‘හිස්’ කියා මෙනෙහි කරන්න.
තත්පර කිහිපයක් සැහැල්ලුවෙන් සිට නැවත ‘හිස්’ කියා සිතන්න. මේ ආකාරයට දිගින් දිගටම හිස් බව තුළම හිස් සංඥාව වඩන්න. වෙනත් ඉන්ද්‍රියන් කරා සිත දිව ගියහොත්, පෙර පරිදිම එය කඩා දමා නැවත මේ හිස් බවට පැමිණෙන්න.
උදෑසන අවදි වූ මොහොතේ සිට රාත්‍රී නින්දට යන තෙක්ම මේ ක්‍රමය අනුගමනය කරන්න.

ආලෝක සංඥා සහ රූප පෙනෙන අයට උපදෙස්
ඔබට සුදු ආලෝකයක්, දේව රූප, බුද්ධ රූප, ගංගා, ඉර හඳ වැනි දේ හෝ අමනුෂ්‍ය රූප පෙනේ නම්,
ඒ පෙනෙන දෙය දෙසම බලාගෙන ‘හිස්’ කියා මෙනෙහි කරන්න. එසේ කරන විට, ඒ ආලෝකය හෝ රූපය විශාල වීමට, ඔබගේ ශරීරයම වැසී යන මට්ටමට පැතිරීමට ඉඩ ඇත. එසේ වුවද, දිගටම හිස් යයි මෙනෙහි කරන්න.
මෙසේ කරන විට, ඔබට ඇස් වසාගෙනම තමන් සිටින කාමරය, ගෙදර බඩුබාහිරාදිය, හෝ ගෙවත්තේ සිටින අමනුෂ්‍යයින්, භූමාටු දෙවිවරුන් වැනි අයව පවා දවල් කාලයේ මෙන් පැහැදිලිව දැකීමේ හැකියාව ලැබෙන්නට පුළුවන. මේ කිසිවකට බිය නොවී, හිස් සංඥාව දිගටම භාවිතා කරන්න.
එවිට ඒ දර්ශන තවත් පැහැදිලි වනු ඇත. මෙම හැකියාවන් පහළ වන්නේ එක් එක් කෙනාගේ සංසාරික පුණ්‍ය ශක්තිය හා කුසල් අනුව බව මතක තබා ගන්න.
අවසාන උපදෙස් සහ ආශිර්වාදය
මෙම ලිපියේ අප පැහැදිලි කළේ සමථ භාවනාව දියුණු කරගෙන, ධ්‍යාන, අභිඥා, සහ අධිමානසික බල ලබාගැනීම සඳහා යා හැකි කෙටිම සහ පහසුම මාර්ගයකි. අමාරුයි කියා සිතන දේවල් ඉතා ඉක්මනින් ලබාගත හැකි ආකාරයයි මේ. එම නිසා, මෙම කරුණු වටහාගෙන, ඒ අනුව භාවනාවේ යෙදෙන්න.
පැය 24 පුරාම සිහිය පවත්වමින් හිස් සංඥාව දියුණු කර ගැනීමේ ශක්තිය, ධෛර්යය, බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබ සියලු දෙනාටම ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි. ඔබට මෙම අභ්‍යාසය පිළිබඳව යම් ගැටළුවක් ඇත්නම්, අප වෙත යොමු කරන්න. ඉදිරි ලිපි මගින් පොදුවේ ඒ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීමට අපි බලාපොරොත්තු වෙමු.

මේ උතුම් මඟෙහි අප සමඟ එක්ව ගමන් කිරීමට ඔබටත් අපි ආරාධනා කරමු. අපගේ ඉගැන්වීම් කියවා, සියල්ලටම වඩා වැදගත් ලෙස, ඒවා ඔබගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්න. ඔබ ලබන අත්දැකීම් සහ ඔබට ඇතිවන ගැටළු, අපගේ ලිපියට පහළින් ඇති අදහස් තීරුවේ සටහන් කරන ලෙස අපි ඔබව දිරිමත් කරන්නෙමු. ඔබ අසන ප්‍රශ්න, ඔබගේ අවශ්‍යතාවලටම ගැලපෙන ලෙස ඉදිරි ලිපි සහ වීඩියෝ සකස් කිරීමට අපට මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම, වෙබ් අඩවියේ ඇති ‘Contact Us‘ පෝරමය හරහා ද ඔබට අප හා සම්බන්ධ විය හැකිය.
අපගේ මෙම උත්සාහය, ඔබ තුළ සැඟවී ඇති ආධ්‍යාත්මික බීජය, එනම් සමාධිය, ධ්‍යාන සහ අභිඥා වැනි ගුණාංග පෝෂණය කිරීමයි.
අප සමඟ එක් වූ ඔබට ස්තූතියි. මෙම වෙබ් අඩවිය ඔබගේ අධ්‍යාත්මික ගමනට මහත් ශක්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!
