Title

88

සිතුවිලිවලට තියෙන ආශාව සහ අකැමැත්ත නැතිකරමු!

මෙම ලිපියෙන්, අපගේ සිතුවිලි අපව පාලනය කරන ආකාරයත්, ආසාව සහ අකමැත්ත නිසා අප දුක් විඳින හැටිත් ගැඹුරින් විග්‍රහ කෙරේ. බුදුන් වහන්සේ දේශනා කළ සිහිය පැවැත්වීමේ සරල ක්‍රමවේදය තුළින් මෙම මානසික පීඩනයෙන් මිදී සැබෑ නිදහසක් අත්විඳින ආකාරය පියවරෙන් පියවර ඉගෙන ගන්න.

තෙරුවන් සරණයි සියලු දෙනාටම!

අද මෙම ලිපිය තුළින්, තමන්ගේ සිහිය පවත්වමින් මනසේ තිබෙන දෑ හඳුනාගැනීම සඳහා තවත් එක් පැතිකඩක් විවර කිරීමට මම බලාපොරොත්තු වෙනවා. ඔබ වෙනදා සිහිය පවත්වන ආකාරයෙන්ම, එහෙත් ඒ සිහිය ඔස්සේ ඔබ මෙතෙක් නොදුටු පැතිකඩක් දකින්නට මෙම ඉගැන්වීම ඔබට උපකාරී වේවි. අපගේ මාතෘකාව වන්නේ, ‘සිතුවිලි වලට ඇති ආසාව සහ අකමැත්ත නැති කරගමු’ යන්නයි.

මේ මාතෘකාවට අනුව, ඔබ ඔබගේ සිතේ ඇතිවන සිතුවිලි වලට සරලවම ආසා කරනවා හෝ අකමැති වෙනවා. බුදු දහමේදී මෙය හඳුන්වන්නේ ඇලීම සහ ගැටීම ලෙසයි. ඔබ කැමති සිතුවිලි වලට ඇලෙන අතර, අකමැති සිතුවිලි සමඟ ගැටෙමින් ඒවායින් පීඩා විඳිනවා. මෙය මේ ලෝකයේ වෙසෙන සියලුම සත්වයින්ට පොදු වූවක්.

බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන් ධර්මතාවය නම්, මෙලෙස සිතුවිලි මගින් අපගේ මානසිකත්වයට සිදුවන පීඩනය, එනම් වදය, අප විසින්ම තේරුම් ගත යුතු බවයි. අද බොහෝ දෙනෙකුට මනසට වද දෙන ප්‍රධානම හේතුව වී ඇත්තේ තමන්ගේ සිතුවිලි හඳුනා නොගැනීම සහ ඒ සිතුවිලි වලින් තමන්ටම ඇතිවන පීඩනය තේරුම් නොගැනීමයි.

Let-Go-of-Craving-and-Aversion-A-Buddhist-Guide-to-Inner-Peace-The-Hidden-War-Within-Understanding-Our-Thoughts

සිතුවිලි අපගේ මනසට වද දෙන හැටි

අපගේ මනසට ඇතුළත් කරගන්නා දේවල් විවිධාකාරයෙන් අපට වද දෙනවා. ඒ දේවල් තමයි මේ ලෞකික ලෝකයේ ඔබ දකින, ඔබ විඳින සියල්ල. ඔබ ජීවිතයේ ආසාවෙන් විඳින දේවල් බොහෝමයක් තිබෙනවා. ඒ වගේම, අකමැත්තෙන් වුවද විඳින්නට සිදුවන දේවලුත් තිබෙනවා. මේ කැමැත්ත සහ අකමැත්ත ඔබට සම්බන්ධ වන්නේ කෙසේද?

  • ඔබේ දරුවන්, මුණුබුරන්
  • ඔබේ භාර්යාව හෝ සැමියා
  • ඔබේ රැකියාව සහ සමාජය
  • ඔබේ හිතවතුන්, ඥාතීන් සහ සහෝදර සහෝදරියන්
  • ඔබේ ආර්ථිකය, අධ්‍යාපනය

මේ සියලු දේ සම්බන්ධයෙන් විවිධාකාර අදහස් ඔබේ මනසට ඇතුළත් වී තිබෙනවා. සරලවම කිවහොත්, මේ දේවල් ඔබේ මනස තුළට ගොස් යම් යම් ක්‍රියාකාරකම් වල නියැලෙනවා. මෙම බාහිර දේවල් පිළිබඳ සිතුවිලි ඔබේ මනසේ තැන්පත් වී, සුදුසු මොහොතක් පැමිණි විට ඒවා ඉස්මතු වී ඔබට පහර දීමක්, එනම් ‘ඇටෑක්’ කිරීමක් සිදු කරනවා.

මෙය බොහෝ විට සිදුවන්නේ ඔබ ශාරීරිකව හෝ මානසිකව කිසිදු ක්‍රියාවලියක නොයෙදී, හුදකලාව, තනිවී සිටින අවස්ථාවන්වලදීයි. එවිට මනස, ඔබ ජීවිතයේ කරපු කියපු සියලු දේ අතීත අරමුණු ලෙස නැවත මතු කර පෙන්වනවා. අනාගතයේදී කරගන්නට නොහැකි වූ දේවල් පවා මතු කර, ඔබව මානසික පීඩනයකට, උමතු ස්වභාවයකට සහ ඔබව ඔබ විසින්ම වට්ටවා ගන්නා තැනකට පත් කරනවා. මෙයයි සිතේ ස්වභාවය. එනිසා, මේ කරුණු ගැන හොඳින් සිත යොමු කර කියවන්න.

ඔබේ මනස මෙවැනි දේවලට පහර දෙන විට, ජීවිතයේ අප විවිධ පීඩාවන්ට ලක්වන්නේ ඇයි දැයි ඔබට වැටහේවි. මෙම ලිපියෙන් මා ඔබට පෙන්වන්නට උත්සාහ කරන්නේ, අපේම සිතුවිලි අපට වද දෙන ආකාරයත්, අප ඒවාට ආසා කරන නිසාත්, ගැටෙන නිසාත් දුක් විඳින, කණගාටු වෙන මෙන්ම සතුටු වන ආකාරයත්ය.

Let-Go-of-Craving-and-Aversion-A-Buddhist-Guide-to-Inner-Peace-How-the-Mind-Creates-Our-Suffering

ආදරයේ සතුට සහ විරහවේ වේදනාව: සිතුවිලි ක්‍රියාත්මක වන ආකාරය

අපි ජීවිතයේ ආදරයෙන් ගත කරන අවස්ථා බොහෝයි. දරුවන්, සැමියා, බිරිඳ, දෙමාපියන්, සහෝදර සහෝදරියන්, මිතුරන් සමඟ අප ආදරණීය මොහොතවල් බෙදාගන්නවා. උදාහරණයක් ලෙස සිතන්න, ඔබ ඔබේ පෙම්වතා හෝ පෙම්වතිය සමඟ කතා කරමින් සිටින විට, ඔහු හෝ ඇය ඔබේ ගුණයක් වර්ණනා කරනවා, ‘ඔයා හරිම ලස්සනයි’ වැනි දෙයක් කියනවා. ඒ වචනය ඔබේ මනසට ගැඹුරින්ම කිඳා බසිනවා. ඒ මොහොතේ පටන් ඔබ ඒ සිතුවිල්ලෙන්ම සතුටු වෙනවා.

සමහරවිට, ඔහු හෝ ඇය ඔබව නිවසට ගෙනැවිත් දැමූ පසුවත්, බස් රථයේ එන විටත්, ගෙදරට පැමිණ වැඩ කරන විටත් ඒ සිතුවිල්ලම මෙනෙහි කරමින් ඔබ ප්‍රබෝධමත්ව, සතුටින් කාලය ගත කරනවා. රාත්‍රියේ නින්දට ගියත්, අපි සිංහලෙන් කියනවා වගේ ‘මනෝපාර ගසමින්’ ඒ සිතුවිල්ලම රස විඳිනවා.

බලන්න, එක් අයෙකු කී වචනයක් ඔබේ කන නැමැති ඉන්ද්‍රියෙන් ඇතුළු වී මනසට ගිය පසු, ඔබ ඒ සිතුවිල්ලට කොතරම් ඇලුම් කරනවාද කියා. ඔබ පුදුම විදිහට ඒ සිතුවිල්ලට ඇලිලා, එයට ආසා කරමින් නැවත නැවතත් රස විඳිනවා. සමහර විට අවට සිටින අය, “ඔබ මොන ලෝකෙද ඉන්නේ?” කියා අසන්නටත් පුළුවන්. ඒ මොහොතේ ඔබේ ලෝකය වන්නේ අර පුද්ගලයා සහ ඔහු හෝ ඇය කී වචනයයි.

නමුත්, මේ ආසා කරන දේ, මේ ආදරණීය සම්බන්ධතාවය, යම් දිනක ඔබට නැති වුවහොත් කුමක් සිදුවේද? ඔබ ඒ ගැන සිතුවාද? අන්න එදාට, අර පුද්ගලයා කී සියලුම වචන නැවත මතක් වෙන්නට පටන් ගන්නවා. ‘එයා මාව දාලා ගියා,’ ‘එයා දැන් වෙන කෙනෙක් එක්ක ඉන්නවා ඇති,’ ‘මට කියපු දේවල්ම එයාටත් කියනවා ඇති’ වැනි සිතුවිලි ඔබේ මනසින්ම ගොඩනැගෙනවා. බලන්න, මීට පෙර සතුට ගෙන දුන් ඒ සිතුවිලි ම, දැන් ඔබට දුක ගෙන දීමට උදව් වෙනවා. මනසේ සහයෝගීතාවය එයයි.

ඉන්පසු, අපි ඒ සිතුවිලි වලට අකමැති වෙනවා. ඒවා මෙනෙහි කිරීමට අකමැති වන විට, අපි ඒවා සමඟ ගැටෙන්නට පටන් ගන්නවා. බුදු දහමේදී මෙය දුක්ඛ ලෙස හඳුන්වන ගැඹුරු පීඩනයට හේතුවක්. එසේ ගැටෙන්න ගැටෙන්න, හිසේ කැක්කුම, නළල තද වීම, ශරීරය දුර්වල වීම, කෑම බීම පවා අරුචි වීම වැනි තත්ත්වයන් ඇතිවෙනවා. මෙම උදාහරණය තරුණ තරුණියන්ට මෙන්ම, ජීවිතයේ ඕනෑම ආකාරයක බැඳීමක් අත්විඳි වැඩිහිටියන්ට ද එකසේ අදාළයි. ඔබ මුහුණ දෙන ආර්ථික, පවුල්, සමාජීය ප්‍රශ්න දෙසද මේ ආකාරයෙන්ම සිහියෙන් බලන්න.

Let-Go-of-Craving-and-Aversion-A-Buddhist-Guide-to-Inner-Peace-The-Sweet-Trap-How-Craving-for-Pleasant-Thoughts-Creates-a-World

බාහිර ලෝකය නොව, ඔබේ මනසයි සියල්ල නිර්මාණය කරන්නේ

ඔබ විනෝද චාරිකා ගොස්, සංගීත ප්‍රසංග නරඹා, දන් දී, අන් අයට උදව් කර සතුටු වන අවස්ථා තිබෙනවා. මේ සෑම අවස්ථාවකදීම හටගන්නා සිතුවිලි දෙස සිහියෙන් බලන්න. ඔබේ සිත විසින්ම සතුටුදායක හෝ කණගාටුදායක සිතුවිලි උත්පාදනය කර ඔබට ලබා දෙනවා. සම්බන්ධයක් බිඳී ගිය විට, ඔබ අවසන් වරට ඔහු හෝ ඇය සමඟ බැනගත්තා නම්, ඒ වචන පවා නැවත මතක් කර දෙමින්, කිසිදු පාලනයකින් තොරව ඔබේ සිත ඔබවම පාලනයට නතු කරගන්නවා.

මේ ධර්මතාවය අවබෝධ කර නොගතහොත්, මේ ලෝකයේ වෙසෙන දෙවියන්, බ්‍රහ්මයන්, නාගයන්, මනුෂ්‍යයන්, තිරිසන් සතුන් ඇතුළු සියලුම සත්වයෝ මේ ආකාරයට සිතට වහල් වී සිටිනවා. ඔවුන් සිතට අසුවී, සිත කියන ආකාරයට ජීවත් වෙමින්, සිත විසින් දෙන දුක විඳිමින් සිටිනවා. සිත, විවිධාකාර වේශයෙන් ඔබව පාලනය කරමින්, ඔබේ අතීතය ගැන උසි ගන්වමින් ඔබව දුකට පත්කරනවා.

මේ ක්‍රියාවලිය දකින්න. ඔබේ ජීවිතයේ විවිධ ප්‍රශ්න සහ ගැටලු වලදී, ඔබේ මනස ඒ දේවලට ඇලෙන ආකාරය (ආසා කරන විදිහ) සහ ගැටෙන ආකාරය (අකමැති වෙන විදිහ) ඔබටම බලාගන්න පුළුවන්. සිතන්න, භෞතිකව ඔබේ දරුවන්, ඉඩකඩම්, යාන වාහන, මුදල්, දෙමාපියන්, ආදරණීයයන් මේ සියල්ල බාහිරව පවතිනවා.

ඒවා ඔබ දුක් මහන්සියෙන් උපයාගත් දේවල්. ඒ සියල්ල දෙස ඔබේ ඇස් දෙකින් බලන්න. ඔබට පෙනේවි, ඒ සියල්ල බාහිරව පවතින බව. නමුත්, ‘මම මේවාට ආසා කරන්නේ මගේ හිතින්’ කියා ඔබට වැටහේවි. ආසාව පවතින්නේ බාහිර වස්තුවේ නොව, එය දකින ඔබේ සිත තුළයි.

Let-Go-of-Craving-and-Aversion-A-Buddhist-Guide-to-Inner-Peace-When-Joy-Turns-to-Pain-The-Sting-of-Aversion

රාගය සහ ගැටීම හටගන්නේ කොතැනද? බුදුන් වදාළ සත්‍යය

ඔබ ඉදිරියේ මුදල් ගොඩක් ඇතැයි සිතන්න. නැතහොත් ඔබ ඇඳුම් වලට, තාක්ෂණික භාණ්ඩ වලට, රූපලාවන්‍ය ද්‍රව්‍ය වලට, ගෙවල් දොරවල් වලට, යාන වාහන වලට හෝ යම් පුද්ගලයන්ට දැඩිව ආසා කරන කෙනෙක් යැයි සිතන්න. ඒ දේවල් දෙස බලන විට, ඔබේ සිත ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කරන්න. ඔබට පෙනේවි, ඔබේ සිත විසින්ම ආසා හිතෙන සිතුවිල්ලක් නිෂ්පාදනය කරන බව. ‘මේක ලස්සනයි’ කියන්නෙත් ඔබේ හිත.

මේක පුළුවන් නම් ඔයාගේ කරගන්න’ කියන්නෙත් ඔබේ හිත. මේ දෙස බලන්න බලන්න, ඔබට ඔබේ මනසේ සත්‍ය ස්වභාවය තේරුම් යාවි. බුදුන් වහන්සේ අපට කියා දුන්නේද මෙන්න මේ දෙස බලන්න කියායි.

ඒ ආකාරයෙන්ම, ඔබට වරදක් කළ, අසාධාරණයක් කළ කෙනෙකු ඔබ පාරේදී දකිනවා. ඔබේ ඇස් දෙකින් ඔහුව දකිනවාත් සමඟම, ඔබේ හිත තුළින්, ‘අන්න අරූ යනවා, අර බල්ලා යනවා’ වැනි කුණුහරුප පවා මුසු වූ වචන ඉබේම ජනිත වෙනවා. මේ සියල්ල ඇතිවන්නේ කොහේද? ඔබේ හිත තුළයි. අර පුද්ගලයා කළ අසාධාරණය නිසා, ඔබේ හිත තුළ තරහව නැමැති සිතුවිලි හටගන්නවා. ඔහුගේ වරදක් නැහැ, වරද ඇත්තේ තරහව ඇති කරගන්නා අප තුළයි.

බුදුරජාණන් වහන්සේ ගාථාවකින් දේශනා කළා, “න තේ කාමා යානි චිත්‍රානි ලෝකේ, සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ” යනුවෙන්. එහි සරල අර්ථය නම්, ‘මේ ලෝකයේ ඇති විසිතුරු වස්තූන් කාමය නොවේ, පුරුෂයාගේ කාමය වනුයේ සංකල්පයන්ගෙන් හටගන්නා රාගයයි’ යන්නයි. එනම්, බාහිර ලෝකයේ රාගයක් නැත; එය හටගන්නේ තමන්ගේ සිත් සතන් තුළයි.

කොටට ඇඳගත් කාන්තාවක් හෝ ඔබ ආසා කරන ආකාරයේ පිරිමි කෙනෙක් දුටු විට ඔබට රාගයක්, ආදරයක් හෝ ලිංගික ආශාවක් ඇතිවෙනවා නම්, ඒ සියල්ල හටගන්නේ ඔබේ හිත තුළයි. බාහිර පුද්ගලයාගේ වරදක් එහි නැහැ. ප්‍රශ්නය ඇත්තේ අපේම මනසේය.

Let-Go-of-Craving-and-Aversion-A-Buddhist-Guide-to-Inner-Peace-Your-Mind-Your-Master-How-We-Become-Enslaved-by-Thought

ඉන්ද්‍රිය ද්වාර සහ හුදකලාවේදී මනස පහර දෙන අයුරු

බුදුන් වහන්සේ අපට ඉගැන්වූයේ අපට දොරවල් පහක් ඇති බවයි: ඇස, කන, නාසය, දිව, ශරීරය. අභිධර්මයේ සහ සූත්‍ර පිටකයේ මෙය සඳහන් වෙනවා. මේ දොරවල් පහෙන් තමයි අපි බාහිර ලෝකයේ ඇති භෞතික දේවල් පිළිබඳ තොරතුරු මනසට ඇතුළු කරගන්නේ.

උදාහරණයක් ලෙස, කුඩා කාලයේදී ඔබට පුටුවක් පෙන්වා, ‘මේ පුටුවක්’ කියා කී විට, ඒ වචනය ඔබේ කනින් ඇසී, පුටුවේ රූපය ඔබේ ඇසින් දැක, ඒ තොරතුර මනසේ තැන්පත් වෙනවා. ඉන්පසු ලෝකයේ කොහේ ගොස් ඒ හැඩයේ දෙයක් දුටුවත්, ඔබ එය ‘පුටුවක්’ ලෙස හඳුනාගන්නවා.

මේ අනුව, අපට මානසිකව වද දෙන සියල්ලම ඇත්තේ අප විසින්ම මනසට දමාගත්, අල්ලාගත්, ඇලුණු සහ ගැටුණු දේවල්. අපි කුණු කඳු මෙන් මේ සියල්ල මනසට දමාගෙන සිටිනවා. වයසට ගොස්, විශ්‍රාම ගොස්, කිසිදු වැඩක නොයෙදී හුදකලාව සිටින විට, මේ තත්ත්වය තවත් දරුණු වෙනවා. අවුරුදු 60ක් පුරා ජීවිතයේ කරපු කියපු දේවල්, මනසේ දත්ත ගබඩාවේ තැන්පත් වෙලා, ඒවා එකින් එක මතු වී ඇවිත් පහර දෙනවා. ඒ සිතුවිලි ඔවුන්ට වද දෙනවා.

එබැවින්, ඔබ දැන්ම සිට මේ මනසේ ක්‍රියාකාරීත්වය හඳුනාගැනීමට පුරුදු වන්න. එසේ කළහොත්, ඔබට වයස 60 පැන්නට පසුවත්, සරලව කියනවා නම්, ‘ආතල් එකේ සොමියේ’ ඉන්න පුළුවන්. නිදහසේ මිය යන්නට පුළුවන්. එසේ නොවුණහොත්, නිදහසේ මිය යෑමට නොහැකි වේවි.

Let-Go-of-Craving-and-Aversion-A-Buddhist-Guide-to-Inner-Peace-The-External-World-vs-Your-Internal-Reality

විදර්ශනාව යනු කුමක්ද? සිතුවිලි දෙස සිහියෙන් බැලීමේ කලාව

මේ සියල්ලෙන් මිදීමේ මාර්ගය නම් සිහිය පැවැත්වීමයි. බොහෝ දෙනෙක් විදර්ශනාව යනු කුමක්දැයි අවබෝධයක් නොමැතිව විමසනවා. සරලවම, විදර්ශනාව යනු, සිහියෙන් යුතුව තමන්ගේ සිතේ හටගන්නා සිතුවිලි වලට ඇති ඇලීම (ආසාව) සහ ගැටීම (අකමැත්ත) හඳුනාගැනීමයි.

මෙය ප්‍රායෝගිකව කළ යුත්තක්. ඔබට නිරන්තරයෙන් අසාධාරණයක් කළ, ඔබ තරහින් සිටින පුද්ගලයා ඔබට දිනපතාම හමුවෙනවා නම්, ඔහු හෝ ඇය තමයි ඔබේ හොඳම භාවනා අරමුණ (කර්මස්ථානය). ප්‍රශ්නය බාහිර ලෝකයේ හෝ පුද්ගලයාගේ නොව, අප ඒ දෙස බලන කෝණයේයි. එම පුද්ගලයා දකින විට, ඔබේ සිතේ තරහවක් නමැති සිතුවිල්ලක් අබ මල් රේණුවක තරම්වත් ඇති නොවෙන දවසක් උදාකරගැනීමට ඔබට පුළුවන්.

ඒ එක සිතුවිල්ලක් තේරුම් ගත්තා යනු, මුළු ලෝකයම ඔබට විරුද්ධ වුණත්, වෛර කළත්, ඔබට නොසැලී සිටීමට හැකිවීමයි. ඔබ ඒ සියලු සිතුවිලි එකම ගණයට දමා ඒවායේ ස්වභාවය තේරුම් ගන්නවා.

ආදර සම්බන්ධතාවයකදීද එසේමයි. ඔබ එක් අත්දැකීමක් සිහියෙන් යුතුව තේරුම් ගත් පසු, ඉන්පසු හමුවන සියලු සබඳතා වලදී ඔබට ඒ අවබෝධය පවතිනවා. සබඳතාවක් නැතිවී ගියද, ඔබට අමුතු දුකක් දැනෙන්නේ නැහැ. මෙහිදී මා කියන්නේ වෙනත් ආස්වාදයක් අල්ලාගෙන පරණ එක අතහැරීම ගැන නොවේ. කිසිදු ආදේශකයක් නොමැතිව, තනිවම වුවද ජීවිත කාලයම සතුටින් සිටීමට හැකිවන පරිදි ඔබේ මනස සූදානම් වීම ගැනය. ඒ, ඔබ සිතුවිලි වල සැබෑ ස්වභාවය තේරුම් ගත් නිසාය.

Let-Go-of-Craving-and-Aversion-A-Buddhist-Guide-to-Inner-Peace-The-Source-of-Anger-and-Desire-A-Look-Inside

සබන් කෑල්ලක් මෙන් කෙලෙස් ගෙවී යයි: ඉවසීමෙන් යුතුව පුහුණු වන්න

ඔබට දැන් වැටහෙනවා ඇති, අපි ආසා කරන්නේත්, ගැටෙන්නේත් අපේම සිතුවිලි වලට බව. අපට නිතරම වද දෙන්නේ අපේම සිතුවිලි ය. අතීතයේ අකමැති දේවල් අවුස්සමින් හෝ කැමති දේවල් නැවත ලබාගැනීමට ආශා කරවමින් මනස අපව පීඩාවට පත්කරනවා. තරුණ කාලයේ විනෝද වූ ආකාරය ගැන සිතමින් වයසට ගිය පසු දුක්වන අය සිටිනවා.

ඔවුන් තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. තරුණ කාලයේ විනෝද වීම කම් නැත, නමුත් ඒ සියල්ලේ මතකයන් වයසට ගිය පසු දෙගුණ තෙගුණ වී මානසිකව විඳවන්නට සිදුවන බව මතක තබා ගන්න. එබැවින්, දැන්ම සිට මේ සිහිය පුහුණු කළහොත්, වයසට ගිය පසු විඳින්නට හෝ විඳවන්නට සිදු නොවී, මානසික සුවයෙන් කාලය ගත කළ හැකියි.

මෙම සිහිය පැවැත්වීමේ පුහුණුව දිගින් දිගටම කරන්න. ඔබ නාන විට සබන් කෑල්ල කාලයත් සමඟ නොදැනීම ගෙවී යන්නා සේ, ඔබ මේ පුහුණුව කරන විට, ඔබේ කෙලෙස් (මානසික අපිරිසිදුකම්) නිකන්ම ගෙවී යනවා. ඔබ මාර්ග ඵල සෙවීමට හෝ ඔබ සිටින තැන මැනීමට අවශ්‍ය නැහැ. ‘මම ඉස්සරට වඩා ආධ්‍යාත්මිකව දියුණුයි‘ කියා ඔබටම වැටහේවි. සමථ භාවනාවෙන්, විදර්ශනා භාවනාවෙන්, මේ සියලු පැතිවලින් ඔබ දියුණු වෙනවා.

Let-Go-of-Craving-and-Aversion-A-Buddhist-Guide-to-Inner-Peace-Like-a-Bar-of-Soap-The-Slow-and-Steady-Path-to-Liberation

ඔබේ විමුක්තිය ඇත්තේ ඔබේ සිතුවිලි තුළමය

අවසාන වශයෙන්, මේ සියල්ලේ හරය තේරුම් ගන්න. ශාරීරික වේදනාවක්, උණක්, හෙම්බිරිස්සාවක් ඇතිවීම කායික සත්‍යයක්. නමුත් ඒ සියල්ල දැනෙන්නේ කොහෙටද? ඔබේ සිතටයි. කෙනෙක් ඔබට බැන්නම, වර්ණනා කළාම, බෝනස් එකක් ලැබුණාම, ලිංගික සුවයක් ලැබුවාම ඒ සියලු වේදනා සහ සතුට දැනෙන්නේ ඔබේ මනසටයි. අභිධර්මයට අනුව, වේදනාව යනු සර්වචිත්ත සාධාරණ චෛතසිකයකි; එනම්, සෑම සිතකම පොදුවේ පවතින දෙයකි. ඒ සියල්ල දැනෙන්නේ මනසටයි. මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්න.

කිසිම වැඩක් නොකර, ඉන්ද්‍රිය දොරවල් පහෙන් කිසිදු අරමුණක් නොගෙන, ඔබ පුටුවක හෝ ඇඳක නිකරුණේ සිටින විට, හයවැනි ඉන්ද්‍රිය වන මනස, අතීතයේ ප්‍රබලම කැමති සහ අකමැති දේවල් මතුකර ඔබට පහර දෙනවා. අනාගතය ගැන පසුතැවීම් ඇතිකරනවා. මේ ක්‍රියාවලිය දෙස හොඳින් බලාගෙන සිටින්න. එවිට ඔබට වැටහේවි, ‘මේ සියල්ල සිතුවිලි වල ප්‍රශ්නයක්. මේවා මගේ ඇතුළට ගන්නා නිසා, ඒවායේ ස්වභාවය තේරුම් නොගන්නා නිසානේ මම මානසිකව දුක් විඳින්නේ’ කියා.

මෙම ඉගැන්වීම් ලොවට හෙළි කළේ එකම ශාස්තෘන් වහන්සේ කෙනෙක් පමණි. ඒ බුදුරජාණන් වහන්සේයි. මෙම ධර්මය ත්‍රිපිටකයේ සහ අටුවා වල අඩංගු වන අතර, අපගේ ප්‍රායෝගික අත්දැකීම් ඇසුරෙන් අපි ඔබට මෙය කියා දෙන්නේ. මේ කරුණු වටහාගෙන, ප්‍රායෝගිකව නියැලෙන්න. එවිට ඔබට ලෝකයේ සහ ධර්මයේ සත්‍යතාවය වැටහෙනු ඇත.

ඔබ සියලු දෙනාටම බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන්, හොඳින් සිහිය පවත්වා, මේ සිතුවිලි වලට ඇති ආසාව සහ අකමැත්ත නමැති ධර්මතාවය හඳුනාගෙන, එය ප්‍රායෝගිකව අවබෝධ කරගැනීමට ශක්තිය, ධෛර්යය ලැබේවා!

Let-Go-of-Craving-and-Aversion-A-Buddhist-Guide-to-Inner-Peace-Let-Go-of-Craving-and-Aversion-A-Buddhist-Guide-to-Inner-Peace

මේ උතුම් මඟෙහි අප සමඟ එක්ව ගමන් කිරීමට ඔබටත් අපි ආරාධනා කරමු. අපගේ ඉගැන්වීම් කියවා, සියල්ලටම වඩා වැදගත් ලෙස, ඒවා ඔබගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්න. ඔබ ලබන අත්දැකීම් සහ ඔබට ඇතිවන ගැටළු, අපගේ ලිපියට පහළින් ඇති අදහස් තීරුවේ සටහන් කරන ලෙස අපි ඔබව දිරිමත් කරන්නෙමු. ඔබ අසන ප්‍රශ්න, ඔබගේ අවශ්‍යතාවලටම ගැලපෙන ලෙස ඉදිරි ලිපි සහ වීඩියෝ සකස් කිරීමට අපට මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම, වෙබ් අඩවියේ ඇති ‘Contact Us‘ පෝරමය හරහා ද ඔබට අප හා සම්බන්ධ විය හැකිය.

අපගේ මෙම උත්සාහය, ඔබ තුළ සැඟවී ඇති ආධ්‍යාත්මික බීජය, එනම් සමාධිය, ධ්‍යාන සහ අභිඥා වැනි ගුණාංග පෝෂණය කිරීමයි.

අප සමඟ එක් වූ ඔබට ස්තූතියි. මෙම වෙබ් අඩවිය ඔබගේ අධ්‍යාත්මික ගමනට මහත් ශක්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!

මෙම ලිපිය බෙදාගන්න:

Facebook
LinkedIn
Pinterest
Reddit
X
WhatsApp

ප්‍රතිචාර

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
2

නව ආධ්‍යාත්මික ලිපි
සඳහා ලියාපදිංචි වන්න

ඔබේ ආධ්‍යාත්මික ගමනට සහාය වන නව ඉගැන්වීම්, චින්තනය පුළුල් කිරීම සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා නවතම බ්ලොග් ලිපි පළවූ සැණින් ඒ පිළිබඳව දැනුවත් වීමට අප සමග එකතු වන්න.

2

ඔබ කැමති විය හැකි වෙනත් ලිපි!

87

නිරතුරුවම සිහියෙන් සිටීම

සිහිය පැවැත්වීමෙන් හොඳට මතක හිටිනවා...

සිහිය පැවැත්වීම තුළින් ජීවිතයේ සැප සහ දුක යන දෙකෙහිම යථාර්ථය මතක තබාගන්නා හැටි ඉගෙනගන්න. ඇබ්බැහිවීම් වලින් මිදෙන්නට ප්‍රායෝගික මගක්....

89

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

භාවනා කරන්නේ ප්‍රධාන අරමුණක් වෙනුවෙන්! මැජික් පෙන්වන්න නෙවෙයි!

භාවනා කරන්නේ ප්‍රධාන අරමුණක් වෙනුවෙන්! මැජික් පෙන්වන්න නෙවෙයි. භාවනාවේ අරමුණ අධිමානසික බල නැත්නම් නිර්වාණයද? සමථ සහ විදර්ශනා සමබරව වඩමින් සංසාර ගමන කෙටි කරගන්නා ආකාරය ඉගෙන ගන්න....

90

තෙවැනි ඇස: ප්‍රායෝගික භාවනා

තෙවැනි ඇස හැමෝටම විවෘත වෙනවද?

තෙවැනි ඇස භාවනාව හැමෝටම සාර්ථක වේද? මෙම ලිපියෙන් ඒ පිළිබඳ සත්‍යය, සංසාර පුරුද්දේ බලපෑම සහ අධෛර්යමත් නොවී ඉදිරියට යන ආකාරය පැහැදිලි කරයි....

91

භාවනාවට සම්බන්ද වෙනත් දේශනා

භාවනා කරද්දී ඇස් විවෘත වෙනවද?

භාවනා කරද්දී ඇස් විවෘත වෙනවද? භාවනාවේදී ඇස් ඇරීම ගැටලුවට මුහුණ දෙනවාද? බිය සහ කලබලය ජයගෙන, සිහියෙන් යුතුව මෙම අභියෝගයට මුහුණ දෙන ආකාරය මෙම ලිපියෙන් ඉගෙන ගන්න....

You cannot copy content of this page

නව ආධ්‍යාත්මික ලිපි
සඳහා ලියාපදිංචි වන්න

ඔබේ ආධ්‍යාත්මික ගමනට සහාය වන නව ඉගැන්වීම්, චින්තනය පුළුල් කිරීම සහ අවබෝධය වැඩි දියුණු කර ගැනීම සඳහා නවතම බ්ලොග් ලිපි පළවූ සැණින් ඒ පිළිබඳව දැනුවත් වීමට අප සමග එකතු වන්න.

0
Would love your thoughts, please comment.x
()
x