තෙරුවන් සරණයි සියලු දෙනාටම!
ප්‍රායෝගික ජීවිතයක් ගත කරන ඔබට, එදිනෙදා කටයුතු අතරතුර සිහිය පැවැත්වීම පුහුණු වන ආකාරය තවදුරටත් විග්‍රහ කර දීම මෙම ලිපියේ අරමුණයි. මෙමගින් ඔබේ මානසිකත්වය දියුණු කරගැනීමට, සිත ශක්තිමත් කරගැනීමට, සිතේ ස්වභාවය අවබෝධ කරගැනීමට සහ එහි ඇති දෝෂ හඳුනාගැනීමට ඔබට හැකියාව ලැබේවි.
අපි මීට පෙර ලිපි මාලාවන් හරහා සිහිය යනු කුමක්ද, එය පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව විවිධ ආකාරයෙන් සාකච්ඡා කර තිබෙනවා. එම ඉගැන්වීම් ප්‍රායෝගිකව අනුගමනය කළ ඕනෑම කෙනෙකුට තම සිත ගැන යම් අවබෝධයක් ලබාගැනීමට හැකිවී තිබෙනවා. මෙය හුදෙක් න්‍යායක් නොව, ඔබ විසින්ම අත්විඳිය යුතු දෙයක්. බුදුන් වහන්සේගේ දේශනාවේ ඇති ප්‍රායෝගික බව රැඳී ඇත්තේ මෙතැනයි. මෙම පුහුණුව තුළින් ඔබ කවුද යන්න ඔබටම තේරුම් ගැනීමට හැකිවෙනවා. ඔබේ සිත තේරුම් ගැනීම යනු ඔබ ඔබවම තේරුම් ගැනීමයි.
අද මම ඔබට එදිනෙදා ජීවිතයේ සිහිය පැවැත්වීම තවත් සරල කර, ඕනෑම කෙනෙකුට කළ හැකි ආකාරයට කියා දෙන්නම්. මේ සඳහා වයස්, ජාති, කුල, ආගම්, ස්ත්‍රී-පුරුෂ hay සුදු-කළු භේදයක් නැහැ. ඔබ කාර්යබහුල වුවත්, රාජකාරි කළත්, ඉගෙන ගත්තත්, නිරෝගී වුවත්, රෝගී වුවත්, මේ කිසිවක් මෙම පුහුණුවට බාධාවක් නොවේ. මෙම ලිපිය මුලින්ම කියවන කෙනෙක් නම්, අපගේ “නිහඬව සිත දිහා බලන්න” වැනි මූලික ලිපි කියවීම ඔබට බෙහෙවින් උපකාරී වේවි.

ඔබේ දිනය ආරම්භය: අවදි වූ මොහොතේ සිට සිත දෙස බැලීම
අපි මේ පුහුණුව උදෑසන අවදි වන මොහොතේ සිටම ආරම්භ කරමු. රාත්‍රී නින්දෙන් පසු ඔබ උදෑසන අවදි වෙනවා. එය දුරකථනයේ එලාම් එක නිසා හෝ ස්වභාවිකවම සිදුවිය හැකියි. උදාහරණයක් ලෙස, උදෑසන හතරට පමණ ඔබේ දෑස් විවර වනවා යැයි සිතමු. ඒ පිබිදීම සිදුවූ මොහොතේ පටන්ම, ඔබේ සිත දෙස බලන්න.
සාමාන්‍යයෙන් අපි මුලින්ම කරන්නේ දෑසින් වටපිට බැලීමයි. නමුත් ඊට පෙර, ඔබේ සිත දෙස බැලීමට පුරුදු වන්න. උදෑසනම නිසා ඔබේ සිත බොහෝ විට කලබලකාරී නැහැ. එකවරම රාගයෙන්, ද්වේශයෙන් හෝ අතීත සිදුවීම්වලින් පිරී යන්නේ නැහැ. මන්ද, ශරීරය මෙන්ම සිතද හොඳ නින්දකින් පසුවී ඇති නිසා එය සන්සුන්, සරල තත්ත්වයක (calm) පවතිනවා. ඔබේ වචනවලින් කියනවා නම් ‘හොඳ කූල් එකක’ තියෙනවා. මෙන්න මේ සන්සුන් සිත දෙස බලාගෙන සිටින්න. එවිට ඔබට ඔබේ සිත ගැන යම් අවබෝධයක් ලබාගත හැකියි.
මෙසේ බලා සිටින විට, ටික වේලාවකින් උදෑසන කළ යුතු වැඩ කටයුතු එකින් එක මතක් වෙන්න පටන් ගන්නවා. රැකියාවට යා යුතු බව, පාසල් වැඩ ඇති බව, උදෑසන ආහාරය සෑදිය යුතු බව වැනි විවිධාකාර සිතුවිලි මතුවෙනවා. මෙය ඉතාම සාමාන්‍ය දෙයක්. ලෝකයේ ඕනෑම කෙනෙකුට මෙය පොදුයි.

උදෑසන පළමු සිතුවිල්ල: දුරකථනය සහ තාක්ෂණයේ බලපෑම
බොහෝ දෙනෙක් පුරුදු වී සිටිනවා අවදි වූ විගස “කෝ මගේ ෆෝන් එක?” කියා සොයන්නට. ඉන්පසු වහාම එය භාවිතයට ගන්නවා. නමුත් වෛද්‍ය විද්‍යාත්මකව බැලුවත්, අවදි වූ විගස දුරකථනයෙන් නිකුත් වන කෘත්‍රිම කිරණ ඇස්වලට හොඳ නැහැ. එසේම, රාත්‍රියේ නින්දට යන තුරු අධික ලෙස දුරකථනය භාවිතා කිරීමෙන් නින්ද අඩුවීම, මානසික පීඩනය, ශරීරය දුර්වල වීම, ස්නායු පද්ධතියට හානි වීම වැනි අහිතකර ප්‍රතිඵල රැසක් ඇතිවිය හැකියි. තාක්ෂණයෙන් අපට ලැබෙන උදව්ව සීමිතයි, නමුත් එයින් සිදුවන හානිය ඊට වඩා වැඩි බව තේරුම් ගත යුතුයි.
ඔබ සිහිය පැවැත්වීම පුහුණු කරන විට මේ කාරණය ඔබටම තේරුම් යාවි. රාත්‍රියේදී දුරකථනය අධිකව භාවිතා කරන තරුණ ඔබට, උදෑසන නියමිත වේලාවට අවදි වීම පවා අපහසු විය හැකියි. දින කිහිපයක් නින්දට පැයකට පමණ පෙර දුරකථනය පසෙකින් තබා නිදාගන්න උත්සාහ කරන්න. එවිට ඔබට ඉතා පහසුවෙන්, සුවසේ උදෑසන අවදි වීමට හැකි බව වැටහේවි. දෑස් විවර කිරීම පවා පහසු වේවි. මේ කරුණු මම සඳහන් කළේ ඔබේ අවබෝධය සඳහායි.

සිතෙන්ම සිත දෙස බලන්නේ කෙසේද? (සරල විග්‍රහයක්)
උදෑසන අවදි වූ පසු, ෆේස්බුක්, වට්සැප් පණිවිඩ පරීක්ෂා කිරීම වැනි දේ සඳහා සිත යොමුවන ආකාරය දෙස හොඳ සිහියෙන් බලා සිටින්න. මේ සිතුවිලි සමුදාය දෙස ඔබ බලා සිටිය යුත්තේ ඔබේම සිතෙනුයි. සමහරු අසනවා, “මේක හිතෙන්මද කරන්න තියෙන්නේ?” කියලා. ඔව්, සිත ගැන තේරුම් ගන්නට ඇත්තේ තමන්ගේ සිතෙන්මයි. වෙන දෙයකින් එය කළ නොහැකියි.
තවත් සමහරු ගැඹුරු වචන භාවිතා කරමින් අසනවා “සිත දිහා බලන්නේ විඥානයෙන් ද?” කියා. විඥානය කියන්නෙත් සිතටමයි, එය හුදෙක් පාලි වචනයක් පමණයි. බුදු දහමේ හෝ අභිධර්මයේදී සිතේ විවිධ පැතිකඩ විග්‍රහ කිරීමේදී විඥානය ගැඹුරින් සාකච්ඡා වුණත්, මෙම ප්‍රායෝගික පුහුණුවට ඔබට එවැනි ගැඹුරු වචන අවශ්‍ය නැහැ.
බුදුරජාණන් වහන්සේ අද වැඩ සිටියා නම්, උන්වහන්සේ ඔබට දේශනා කරන්නේ පාලියෙන් නොව, ඔබට තේරෙන සරල සිංහලෙන්. මක්නිසාද යත්, අප්‍රමාණ කාලයක් සංසාරයේ පාරමිතා පිරූ උන්වහන්සේට ඕනෑම කෙනෙකුට ඔවුන්ගේ භාෂාවෙන් ධර්මය කියා දීමේ හැකියාව තිබුණා. එය සංසාරික පුරුද්දෙන් ලැබෙන හැකියාවක්.
එබැවින්, ගැඹුරු වචන ගැන නොසිතා, සරලව ඔබේ සිත දෙස, ඔබේම සිතින් බලා සිටින්න.

ශරීරයේ සෑම චලනයක්ම සිහියෙන් දැකීම
දුරකථනය පසෙකින් තැබූ පසු, ඔබේ ඊළඟ ක්‍රියාව ඇඳෙන් බැසීමයි. ඇඳෙන් දෙපා බිමට තබන්නට සූදානම් වන විට, ඔබේ සිත ක්‍රියාත්මක වන ආකාරය බලන්න. “දැන් ඇඳෙන් බහින්න, නැගිටින්න” කියා සිත ශරීරයට විධානයක් දෙනවා. ඒ අනුව ඔබ ක්‍රමයෙන් දෙපා ඇඳෙන් එළියට තබන ආකාරය හොඳ සිහියෙන්, සිත දෙස බලාගෙනම නිරීක්ෂණය කරන්න.
මෙය සිදු කරන විට සිත අසිහියට යා හැකියි. එක දිගටම සිහිය පැවැත්වීම අපහසුයි, එය ටිකෙන් ටික පුරුදු කළ යුතු දෙයක්. ඔබේ දෙපා, දෑත් එහා මෙහා චලනය වන විට, ඇස්, කන් ක්‍රියාත්මක වන විට, මේවා රොබෝ කෙනෙක් මෙන් සිත විසින් මෙහෙයවන්නේ කෙසේදැයි බලන්න. උදෑසන සිතුවිලි අඩු නිසා මේ ක්‍රියාවලිය හඳුනාගැනීම පහසුයි.
ඉන්පසු ඔබ නාන කාමරයට යන්නේ ශරීර කෘත්‍යයන් ඉටු කිරීමටයි. එසේ ගමන් කරන විට, ඔබ හොඳ සිහියෙන්ද යන්නේ කියා බලන්න. දෙපයින් ඇවිදගෙන යන ආකාරය, එය ස්වභාවිකව පුරුද්දට සිදුවන්නක්ද, නැතිනම් සිතා මතා අඩිය තබන්නක්ද යන්න ඔබේම සිතින් බලා සිටින්න. දත් බුරුසුවට බෙහෙත් දමා කටට ඇතුළු කර දත් මදින විට, එය සිදුවන ආකාරය හොඳ සිහියෙන් බලන්න. ඔබ දත් මදින්නේ ඔබේ කැමැත්තටද, සිතේ කැමැත්තටද, නැතහොත් වසර ගණනක පුරුද්දට අනුවද? ඔබ තවමත් අඩ නින්දේ සිටියත්, මේ සියල්ල නිරීක්ෂණය කරන්න.

දෛනික කටයුතු භාවනාවක් කරගනිමු: ආහාර ගැනීම සහ ගෙදර දොරේ වැඩ
දත් මැදීමෙන් පසු, සමහරු ඇඳුම් මැදීමට, තවත් අය උදෑසන ආහාරය පිසීමට යොමු වෙනවා. ඔබ මුළුතැන්ගෙට ගොස් එළවළු කපන ආකාරය, පිහිය හසුරුවන විදිය, හාල් මනින විදිය, මේ සෑම දෙයක්ම හොඳ සිහියෙන්, ඔබේ සිත දෙස බලාගෙනම කරන්න. උදෑසන වතුර වීදුරුවක් පානය කරනවා නම්, එය කටට, දිවට දැනී ශරීරයට යන ආකාරය නිරීක්ෂණය කරන්න.
මතක තබා ගන්න, මේ සියල්ල එකවර නිරීක්ෂණය කළ නොහැකියි. ටිකෙන් ටික පුරුදු විය යුතුයි. ඔබට මේවා තැනින් තැන අසුවෙන්න පටන් ගනීවි. ඔබ මෙසේ උදෑසන අවදිවී කළ ක්‍රියාකාරකම් තුළ, භාවනා ඉරියව්වක නොසිට, ඉඳගෙන, හිටගෙන සහ ඇවිදිමින් යන ඉරියව් තුනෙන්ම කොපමණ වේලාවක් සිහිය පැවැත්වූවාද? එනම්, සෑම මොහොතකම සිත දෙස බලා සිටීම, වර්තමානයේ රැඳීම හෙවත් බුදු දහමේ හඳුන්වන සති සම්පජ්ජන්‍යය (සිහිය සහ නුවණින් යුතුව ක්‍රියා කිරීම) කොතරම් පුහුණු කළාද යන්න ඔබම පරීක්ෂා කර බලන්න.
අපගේ මගපෙන්වීම් අනුව උදෑසන අවදිවී සමථ භාවනාවේ (සිත සන්සුන් කිරීමේ භාවනාව) යෙදෙන අයත් සිටිනවා. ඔවුන්ද, භාවනාවට වාඩි වන තුරු, මුහුණ සෝදා, භාවනා ඉරියව්ව සකසා ගන්නා තෙක්, කොපමණ සිහියක් පවත්වනවාදැයි බැලිය යුතුයි. සිහිය පැවැත්වීම අතරමගදී බිඳී යා හැකියි. එය ගැටළුවක් කරගන්න එපා, ටිකෙන් ටික නැවත සිත දෙස බලන්න.

සිතේ වේගය සහ ස්වභාවය: දත් මදින විටත් සිත දුවන හැටි
ඔබ නින්දේ සිටින විට, පෙර දින සිදු වූ දේවල්, අතීත සිදුවීම් ආදී සිතුවිලි යටපත් වෙනවා. අවදි වන විට එතරම් සිතුවිලි නැතත්, ඔබ ටිකෙන් ටික අසිහියට පත්වෙත්ම, හරියට වතුර කරාමයක් ඇරියා සේ, පරණ සිතුවිලි එකින් එක මතුවෙන්න පටන් ගන්නවා. දුක්බර, සතුටුදායක, ඉරිසියා සහගත, හොඳ නරක යනුවෙන් හඳුන්වන කෙලෙස් (සිත කිලිටි කරන ස්වභාවයන්) වලින් පිරුණු සිතුවිලි ගලා එන්නට පටන් ගන්නවා. ඔබේ උදෑසන ආරම්භ වන්නේ මෙලෙසයි.
සිහියෙන් යුතුව දවස ආරම්භ කර භාවනාවට වාඩි වන කෙනාට, සිත සමාධිගත කරගැනීම, අධිමානසික හැකියාවන්, කුණ්ඩලිනී ශක්තිය, චක්‍ර අවදි කිරීම වැනි සමථ භාවනා අභ්‍යාසයන්ට යොමුවීම ඉතා පහසුයි.
ඔබ උදෑසන කරන ක්‍රියාවක් දෙස බලමු. උදාහරණයක් ලෙස, ඔබ බත් පිඟාන අනන විට, ඔබේ සිත පවතින්නේ ඒ වර්තමාන ක්‍රියාවේද? නැතිනම්, අත පුරුද්දට බත් අනන අතරතුර, ඔබේ සිත අතීතයේ පාසල් කාලයට, ආර්ථික ප්‍රශ්නයකට, රැකියාවේ ගැටළුවකට හෝ වෙනත් අරමුණකට ගොස් තිබේදැයි බලන්න.
බත් අනන ගමන් සිත වෙන තැනක බව ඔබට අසුවූ විට, එය ස්වභාවිකවම වර්තමානයට පැමිණෙනවා. මෙහිදී අමුතුවෙන් මෙනෙහි කිරීමට වචන නැහැ. එකම දෙය සිහිය පැවැත්වීම පමණයි. මේ තුලින්, බුදුදහමේ ගැඹුරු සංකල්පයක් වන පටිච්චසමුප්පාදය (හේතුඵල දහම) වචනවලින් තොරව, තමන් විසින්ම දැකීම සිදුවෙනවා.
මේ ආකාරයට, ඔබ දත් මදින විට, ඔබේ සිත ඇත්තේ කොහේද? අනුරාධපුරයේද, කොළඹද, රැකියාවේ ස්ථානයේ ද, නැතිනම් චිත්‍රපටියක ද? ශරීරයෙන් එක් වැඩක් කරන අතර, සිත කොතරම් දුරක් ගමන් කරනවාදැයි ඔබටම වැටහේවි. සිතේ වේගය කොතරම්ද කියා ඔබට තේරුම් යාවි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිතේ වේගයට මේ භෞතික ලෝකයේ උපමාවක් දිය නොහැකි බවයි. එය ආලෝකයේ වේගයටත් වඩා වේගවත්. එතරම් වේගවත් සිතක් දමනය කර ඍද්ධි බලයක් ලැබූ කෙනෙකුට, කොතරම් වේගයෙන් භෞතික ශරීරය මෙහෙයවිය හැකිදැයි සිතා බලන්න.

මිනිසුන් සමග ගනුදෙනු කිරීමේදී සිහිය පවත්වා ගැනීම
ඔබ රැකියාවට යාමට ඇඳුම් ඇඳගෙන පාරට බසින විට, ඔබේ සිත දෙස බලාගෙනම යන්න. පාරේදී කෙනෙකුට සිනාසෙන විට, ඔවුන් සමග කතා කරන විට ඔබේ සිත ක්‍රියාත්මක වන ආකාරය බලන්න.
මෙම සිහිය පැවැත්වීම දිගින් දිගටම පුරුදු කරන විට, අනවශ්‍ය ලෙස අන් අය සමග කතා කිරීමට සිත යොමු නොවනු ඇත. මන්ද, සිත මේ නිදහස්, සන්සුන් ස්වභාවයට කැමති වන නිසා, ඔබ එය තව තවත් භුක්ති විඳීමට කැමති වෙනවා.
උදෑසන හමුවන අයට සුබ පැතීමේදී, ඔබේ සිත දෙස බලන්න. පෙර දින රණ්ඩු වූ කෙනෙක් හෝ ඔබේ තරහකරුවෙක් හමුවූ විට ඔබේ ප්‍රතිචාරය (reaction) කුමක්ද? ඔබේ සිත ඔහුට මුහුණ දෙන්නේ කෙසේද? ඔහුගේ ඉරියව් ඔබට පෙනෙන්නේ කෙසේද? මේ සෑම දෙයක්ම හොඳ සිහියෙන්, ඔබේම සිතින් බලන්න.
ඔබ රිය පදවගෙන යන විට, පාරේ නීතිගරුක නොවන රියදුරන් දුටු විට, ඔබේ සිතේ කේන්තියක් හටගන්නා ආකාරය නිරීක්ෂණය කරන්න. මිනිසුන්ගේ අසාධාරණ හැසිරීම් දකින විට ඔබට සිනාවක්, තරහක්, වෛරයක්, නැතිනම් උපේක්ෂාවක් (මැදහත් බවක්) ඇතිවන්නේ දැයි බලන්න. ධර්මතාවය අවබෝධ වන විට, හොඳ-නරක විනිශ්චයකින් තොරව, මැදහත් සිතක් ඇතිවනු ඇත.

සිහියෙන් යුතුව නින්දට යෑම: සිංහ සෙයියාවේ වටිනාකම
මුළු දවස පුරාම, රැකියාවේදී, ආහාර ගන්නා විට, නැවත නිවසට පැමිණ, රාත්‍රී ආහාරය ගෙන නින්දට යන තෙක්, මේ ආකාරයට සෑම ක්‍රියාවක් දෙසම සිහියෙන් බලන්න. දවස අවසානයේදී, ඔබ කොතරම් වේලාවක් සිහියෙන් සිටියාද යන්න ඔබටම වැටහේවි. එනම්, බුදුන් වහන්සේ දේශනා කළ සතර සතිපට්ඨානය (සිහිය පිහිටුවීමේ කරුණු හතර) ඔබ කොතරම් දියුණු කරගෙන තිබේද යන්න වැටහේවි.
නින්දට ගිය විට අප බොහෝ විට අසිහියට පත් වෙනවා. අංගුත්තර නිකායේ ‘සෙයියා’ සූත්‍රයට අනුව, නින්දේදී වුවද වඩාත්ම සිහියෙන් සිටිය හැකි ඉරියව්ව වන්නේ ‘සිංහ සෙයියාව’යි. එනම්, සැතපෙන බුද්ධ ප්‍රතිමාවල දක්නට ලැබෙන පරිදි, දකුණු ඇලයෙන් සැතපීමයි. මෙම ඉරියව්වෙන් නිදාගන්නා විට, ශරීරයට අවශ්‍ය අවම නින්ද ප්‍රමාණය ලැබෙන අතර එය සෞඛ්‍යයටද හිතකරයි.
බටහිර විද්‍යාවෙන් පවා මෙහි ඇති ප්‍රතිලාභ තහවුරු කරගත හැකියි. මුල් කාලයේදී මෙම ඉරියව්වට හුරුවීම අපහසු වුවත්, ටිකෙන් ටික පුරුදු කිරීමෙන්, නින්දේදී පවා සිහිය පැවැත්වීම දියුණු කරගත හැකියි.
එපමණක් නොව, සිංහ සෙයියාවෙන් නිදාගන්නා විට දකුණු අතේ මාපටැඟිල්ල නළල අසල ස්නායු ස්පර්ශ වීමෙන්, අප නොදැනුවත්වම මොළයේ සහ ශරීරයේ දියුණුවක් සිදුවන බව බුදුරජාණන් වහන්සේලා වැනි ආධ්‍යාත්මික ශාස්තෘවරුන් දැක තිබෙනවා. මෙහි ඉතා ගැඹුරු කාරණා අන්තර්ගතයි.

ප්‍රතිඵල නොව, පුහුණුව අගය කරන්න: ඔබේ අධිෂ්ඨානය
ඔබේ දෛනික ජීවිතය මේ ආකාරයට සිහිය පැවැත්වීම සඳහා යොදාගන්නා බවට අධිෂ්ඨාන කරගන්න. මාර්ගඵල සෙවීමට යන්න එපා. ඒ වෙනුවට, පෙරට වඩා ඔබේ වෙනස නිරීක්ෂණය කරන්න. ඔබේ රාගය, ද්වේශය, ඉරිසියාව වැනි කෙලෙස් අඩු වී ඇත්දැයි බලන්න. ජීවිතය ඇතිතාක්, මියයන දිනය දක්වාම මේ පුහුණුව කරනවා කියා සිතාගෙන ටිකෙන් ටික පුරුදු කරන්න. එවිට ඔබට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනු ඇත.
මම ඔබට මේ සරලව කියා දුන්නේ සතර සතිපට්ඨානයමයි. පොතේ ඇති න්‍යාය (theory) සහ ප්‍රායෝගික යෙදීම (practical) අතර වෙනසක් තිබෙනවා. පාසලේදී ගණනක් සෑදීමට පොතේ ඇති ක්‍රමයට වඩා වෙනස්, සරල ක්‍රමයක් ගුරුවරයා කියා දෙනවා වගේ, මේ ධර්මයද ප්‍රායෝගිකව යෙදිය යුත්තේ මෙලෙස සරලවයි. එසේ නොමැතිව, “මෙහෙමමයි කළ යුත්තේ” කියා දෘෂ්ටිගැනීමෙන් එක තැන පල්වෙන පිරිසක් බවට පත් නොවන්න.
මේ ඉගැන්වීම් උදව් කරගෙන, ප්‍රායෝගිකව යෙදී, සිහියෙන් යුතුව ඔබේ සිත ගැන අවබෝධ කරගන්න. ඔබේ අත්දැකීම්, අන් අයටද අවබෝධය පිණිස මෙම ලිපියට අදහස් දැක්වීමෙන් බෙදාගන්න. එය තවත් කෙනෙකුට මේ මාර්ගයේ බියක් සැකයක් නැතිව ගමන් කිරීමට උපකාරයක් වේවි.
මෙම පුහුණුව කරගෙන යන විට ඔබට විවිධ බාධා, අඩුපාඩු සහ සිතේ දෝෂ මුණගැසේවි. ඒ පිළිබඳව ඉදිරි ලිපිවලින් සාකච්ඡා කරමු.
මා කියා දෙන දේ තුළින් ඔබේ සිත තේරුම් ගැනීමට උත්සාහ නොකර, මා කියා දෙන දේ ප්‍රායෝගිකවම කර, ඔබේ සිත ඔබ විසින්ම තේරුම් ගන්න. එසේ නොමැති නම්, මෙය ඔබට හුදෙක් හිස් දේශනාවක් පමණක් වනු ඇත. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන්, මේ කරුණු මැනවින් වටහාගෙන ප්‍රායෝගිකව කටයුතු කිරීමට ඔබට ශක්තිය, වීර්යය සහ ප්‍රඥාව ලැබේවා!

මේ උතුම් මඟෙහි අප සමඟ එක්ව ගමන් කිරීමට ඔබටත් අපි ආරාධනා කරමු. අපගේ ඉගැන්වීම් කියවා, සියල්ලටම වඩා වැදගත් ලෙස, ඒවා ඔබගේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්න. ඔබ ලබන අත්දැකීම් සහ ඔබට ඇතිවන ගැටළු, අපගේ ලිපියට පහළින් ඇති අදහස් තීරුවේ සටහන් කරන ලෙස අපි ඔබව දිරිමත් කරන්නෙමු. ඔබ අසන ප්‍රශ්න, ඔබගේ අවශ්‍යතාවලටම ගැලපෙන ලෙස ඉදිරි ලිපි සහ වීඩියෝ සකස් කිරීමට අපට මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම, වෙබ් අඩවියේ ඇති ‘Contact Us‘ පෝරමය හරහා ද ඔබට අප හා සම්බන්ධ විය හැකිය.
අපගේ මෙම උත්සාහය, ඔබ තුළ සැඟවී ඇති ආධ්‍යාත්මික බීජය, එනම් සමාධිය, ධ්‍යාන සහ අභිඥා වැනි ගුණාංග පෝෂණය කිරීමයි.
අප සමඟ එක් වූ ඔබට ස්තූතියි. මෙම වෙබ් අඩවිය ඔබගේ අධ්‍යාත්මික ගමනට මහත් ශක්තියක් වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!
